පාස්කු ඉරිදා ප්‍රහාරය : මුස්ලිම්වරුන් ආරක්ෂක අංශවලට සහය දෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය : මුස්ලිම්වරුන් ආරක්ෂක අංශවලට සහය දෙයි

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් බලවත්සේ කම්පාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් එම අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධය යයි සැකකෙරෙන පුද්ගලයින් පිළිබඳව ආරක්ෂක අංශවලට විශාල වශයෙන් තොරතුරු ලබාදෙමින් සිටින බව ආරක්ෂා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ සැකකටයුතු නිවාස පිළිබඳවත්, කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයින් හා ඔවුන් පදිංචිව සිටින ස්ථාන පිළිබඳවත් රාජ්‍ය බුද්ධි සේවා වලට තොරතුරු ලබාදුන්නේ එම ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලින් හා මුස්ලිම් තරුණ පිරිස් විසින් බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තොරතුරු මත අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාකරකයන් ගේ බවට සැක කෙරෙන සැක කටයුතු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එම ස්ථානයේ තිබුණු බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ.

 වෙඩි හුවමාරුවක් :

 එයට අමතරව කල්මුනේ, සයින්දමරදු ප්‍රදේශයේ පොලිස් සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ පොලිසිය සහ ආරක්ෂක හමුදාව සමග කිසියම් පිරිසක් වෙඩි හුවමාරුවක නිරත වූ බවට වාර්තා ලැබී ඇති බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගනු ලැබ තිබෙන අතර, ප්‍රහාරකයන්ගේ බව දැක්වෙන වීඩියෝ පටයක් ද මුදා හරිනු ලැබ තිබුණි.

මේ අතර ප්‍රහාරය මෙහෙයවූ, ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සහ්රාන් මවුලාෆි ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇතැයි ලැබී ඇති සාක්ෂි උපුටා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න