ප්‍රහාර ගැන තොරතුරු ජනාධිපතිට දන්වලා !

ප්‍රහාර ගැන තොරතුරු ජනාධිපතිට දන්වලා !

මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් පිළිබඳ ජාතික බුද්ධි අංශ තොරතුරු තමා දන්නේ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද ජාතික බුද්ධි අංශය ඍජුවම වගකියන්නේ ජනාධිපතිවරයාට බැවින් හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තොරතුරු දැන සිටි බව පිළිගැනීම මගින් ජනාධිපතිවරයාද එම තොරතුරු දැනගෙන සිටි බව තහවුරු වේ.

විදෙස් බුද්ධි තොරතුරු වාර්තාවකට අනුව මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව අනතුරු ඇඟවීම් වාර්තාව ජාතික බුද්ධි ප්‍රධානියා වන සිසිර මෙන්ඩිස් අප්‍රේල් 4 වෙනිදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත වාර්තා කර ඇතත් අප්‍රේල් 6 වෙනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට එම වාර්තාව යොමුකර නැත.

ප්‍රහාරයට ලක්වූ කොච්චිකඬේ දේවස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු විදෙස් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ දැන සිටි බව පිළිගත්තේය.

බුද්ධි තොරතුරු වශයෙන් ලැබෙන වාර්තා සමාලෝචනය කිරීම, ඇතිවිය හැකි අනතුරේ ප්‍රමාණය තක්සේරු කිරීම හා එම අනතුර වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සඳහන් කිරීමද මෙවැනි බුද්ධි වාර්තාවකින් පසු සිදුකළ යුත්තක් වුවද මෙහිදී ඒ කිසිවක් සිදුවී නොමැත.

සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ ආකාරයේ බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු එය ආරක්ෂක මණ්ඩලයට යොමුකර සාකච්ඡා කර ඉදිරි පියවර ගැන ත්‍රිවිධ හමුදාවට, පොලීසියට හා අදාල අනෙකුත් පාර්ශ්වයන්ට නියෝග ලබාදීම සේනාධිනායකවරයා වශයෙනුත්, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙනුත්, පොලීසිය භාර අමාත්‍යවරයා වශයෙනුත් ජනාධිපතිවරයා කළ යුතුය. ඒ අනුව ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව පිළිබඳ ඔහුගේ වගකීම පැහැර හැරීම මෙම අවාසනාවන්ත සිදුවීමේදී නිරීක්ෂණය කළ හැකි බව ආරක්ෂාවට සහ බුද්ධි අංශවලට සම්බන්ධ හිටපු නිලධාරීන් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

සිසිර මෙන්ඩිස් මෙම වාර්තාව අප්‍රේල් 9 වෙනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර ඇති අතර ඒ අනුව ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු වෙත එම වාර්තාවේ කරුණු අනුව අදාළ දැනුවත් කිරීම සිදුකර ඇත.

ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ සිසිර මෙන්ඩිස් මහතා වන අතර ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් නොවේ. ඔහු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන්නෙකි. සිසිර මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම එහි අධ්‍යක්ෂවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක, සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත පොලිස්පතිවරයා විසින් අදාළ දැනුවත් කිරීම සිදුකර ඇත. එහෙත් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ක්‍රියාකරන්නැයි එහිදී උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබා දී නැත. ඔහු තමන් යැවූ ලිපියට අදාළ පසුවිපරම් ද කර නැති බව වාර්තා වේ. මෙම දැනුම් දීමට අදාළව ක්‍රියාත්මක වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පමණි. ඔහුද තමන්ගේ පහළ නිලයන් වෙත ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වන්නේ දැයි පසුවිපරම් කර නැත.

අප්‍රේල් 24 දින පාර්ලිමේන්තුවේදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද පැවසුවේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ඍජුවම වගකියන්නේ ජනාධිපතිවරයාට හා ඔහු යටතේ සිටින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට බවය. ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සකස් කරන බුද්ධි වාර්තා ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ඊට අමතරව පොලිස්පතිවරයාටත් යොමුකරන බව සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මීට අමතරව එස්අයියූ යනුවෙන් හඳුන්වන රාජ්‍ය බුද්ධි සේවයද ජනාධිපතිවරයාට හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඍජුව වගකියන ආයතනයක් වන අතර එම ඒකකය එක්රැස් කරන තොරතුරුද ආරක්ෂක අමාත්‍යාංශයට යොමුකෙරේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස ක්‍රියාත්මක කළ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසු පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමා නොකැඳවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනටද ඊට ආරාධනා කර නැති බව පැවසේ.

එසේ වුවද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ එම නොකැඳවීම් පිළිබඳ අගමැතිවරයා හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබුණු බවත් එසේ නොකිරීම වරදක් බවත්ය.

සාමාන්‍ය වශයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක හා පොලීසිය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් හා අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවීම සිදු කළ යුතු වේ. එහෙත් පසුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක් කරගත් බවට ජනාධිපතිට චෝදනා එල්ල වී තිබේ. ■

[අනිද්දා - ලසන්ත රුහුණගේ / කේ. සංජීව]

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න