Language Switcher

V2025

ආගම් අතර ගැටුම් ඇතිවීමට ඉඩදෙන්න එපා - ධම්මාවාස හිමි

ආගම් අතර ගැටුම් ඇතිවීමට ඉඩ නොදී සියලූම ජනතාව එක ජාතියක් වශයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බැදගෙන එකට කටයුතු කළ යුතු යැයි අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක හිමියන් කොළඹදී අද (10) පවසයි.

රටේ පරිපාලන සහ අධ්‍යාපන ක‍්‍රමයේ ගැටලූ හදුනාගෙන සියලූ ජාතීන්ට එක්ව කටයුතු කළ හැකි විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇතැයිද උන්වහන්සේ සදහන් කළහ. මහනාහිමියෝ මේ බව පැවැසූවේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේදි එක්වෙමිනි.

ආරක්ෂක මෙහෙයුම, දේශීය දේශපාලන මෙහෙයුම, ගෝලීය දේශපාලන මෙහෙයුම, ආර්ථික මෙහෙයුම, මානසික මෙහෙයුම ආදි වැඩසටහන පංචවිධ සැලැස්මට ඇතුළත් වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක හිමියන් ,

‘‘අතීතයේ සිට මුස්ලිම් ජනතාව සමග අපි සමගියෙන් එකමුතුවෙන් කටයුතු කළා. දැන් මේ එල්ල කල ත‍්‍රස්තප‍්‍රහාරය මුස්ලිම් ආගමිකයන් සිදුකල එකක් නොවෙයි. අනේ අපේ කිසිම අමුත්තක් නැහැ එදා වගේ අදත් අපේ සමගිය තියෙනවා කියළා මුස්ලිම් ගම්වල මිනිස්සු සිංහල මිනිස්සුන්ට ඇවටිලි කරනවලු.

හැම ආගමකම, හැම ජාතියවකම, හැම රටකම අන්තවාදීන් සියයට හතරක් පහක් පමන ඉන්නවා. අන්න එබදු පිරිසක් තමයි මේ ප‍්‍රහාරයට මුල් වෙලා තියෙන්නේ.

අපේ රටේ පරිපාලනමය දුබල කම් නිසා ඉන් ප‍්‍රයෝජන ගෙන මේ අන්තවාදීන් විදේශීය රටවල් සමග එක්ව කලක ඉදන් විදේශ රටවලට අප් රටේ මුස්ලිම් ළමයි අරගෙන ගිහින් පුරුදු පුහුණු කරලා ඔවුන්ගේ ඔලූව වෙනස් කරලා මෙහාට ගෙනත් තියෙනවා. ඒ අය තමයි මේ ත‍්‍රස්ත ප‍්‍රහාරයට මූලිකත්වය දීලා තියෙනවා.

අපේ රටේ ළමයි විදේශ ගතවෙනකොට කොහාටද යන්නේ. කවුද මේ ළමයි ගෙන්ව ගන්නේ. මේ ළමයි මොකක්ද කරන පුහුණුව කියලා සොයා බැලිය යුතුයි. විදේශ ගතවනවිට පමනක් නෙමෙයි මේ ගැන පසු විපරමකුත් තානාපති කාර්යාල මගින් සිදුකළ යුතුයි. අපේ පරිපාලන තන්ත‍්‍රයේ තිබෙන අබල දුබල කම් මේකට හේතුවක් වී තිබෙනවා.

අවි ආයුධ වෙළදාමෙන් තමයි මේ බටහිර ලෝකය යැපෙන්නේ. ඒ රටවල් එක රටක ඉවර වෙනකොට තවත් රටකට අවි ආයුධ විකුණනනවා. අන්න එවැනි අය විසින් මේ ප‍්‍රශ්ණ ඇති කරමින් සිටිනවා.ඒ නිසා අපි බොහෝම බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කාදිනල් තුමන්ගේ උපදේශය මේ රටේ කතෝලික ජනතාව අකුරටම පිළිපැද්දා මෙන් භික්ෂූන් වහන්සේ, දැන උගතුන් දෙන උපදෙස් ලබා ගෙන අපේ බෞද්ධ ජනතාවත් මේ සහෝදර කතෝලි ජනතාව සමග අත්වැල් බැදගෙන එකට කටයුතු කළ යුතුයි. සහෝදරත්වයෙන් මේ දුක බෙදා ගත යුතුයි.

අපි සියලුදෙනාම එක ජාතියක් වශයෙන් සහයෝගයෙන් කටයුතු කරමින් අපේ දරුවන්ටත් ඒ මඟ කියා දිය යුතුයි.විශේෂයෙන්ම අපේ දරුවන්ටත් එකට ඉගෙන ගන්න සලසන්න ඕන, මුස්ලිම් ළමයින්ට එක තැනක්, කතෝලික ළමයින්ට තව තැනක්, බෞද්ධ ළමයින්ට තව තැනක් එතනම අපි ජාතිය බෙදලා තමයි පටන් ගන්නේ. මේ තත්වය වලකලා සිංහල, බෞද්ධ, කතෝලික මේ කවුරුත් එකට අධ්‍යාපනය ලැබිය යුතුයි.

දූරදර්ෂි විදියට ආගම් භේද ඇති නොවන ආකාරයට කටයුතු කරන්න කියලා ආගමික නායකයන් විදියට අපි මේ හැමදෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා’’ යැයිද මහනාහිමියෝ පැවැසූහ.