Language Switcher

V2025

එකම රටක් එකම නීතියක් වෙනුවෙන් : සියලු ජාතීන්ගේ සහය අවශ්‍යයි - තලතා

"එකම රටක් එකම නීතියක්" බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සදහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර විසින් එකම රටක් එකම නීතියක් යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාව පිළිබදව පිළිතුරු කථාව සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය

අප්‍රේල් 21 රටේ ඇති වු තත්වයත් එක්ක සහ අපි සියලු දෙනාම එකම ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය යුතුයි කියලා කල්පනා කරන්න ආරම්භයක් ඇති කර ගන්න මේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන අපි සන්තෝෂ වෙනවා.අපි ඈත ඉතිහාසය දිහා බලන කොට අවුරුදු දහස් ගණනක් ඈතට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ බහු වාර්ගික බහු ආගමික බහු සංස්කෘතික රටක් හැටියට ඉතිහාස ගත වෙලා තියෙනවා.ඉතිහාසයේ මේ රටේ ජාතීන් ඉතාමත් සමගියෙන් කටයුතු කරමින් ජීවත් වෙලා තියෙනවා.අපි රජය හැටියට රජයේ අවශ්‍යතාවය හා කැපවීම සියලු ජාතීන් ගරු කරමින් ජීවත් විය යුතුයි කියන එකයි.අද එකම රටක් එකම නීතියක් යටතට පත් කරන කොට සමහර වෙලාවට නොයෙකුත් අපහසුතා අති වෙන්නේ අද රටේ නීතිය තුළ එක එක ජන වර්ගවලට වෙන් වෙන්ව නීති ඇති වෙලා තියෙන නිසා ඉංග්‍රිසී නීතියත් රෝම ලන්දේසි නීතියත් විදිහට අද පොදු නීතියක් පවතින වෙලාවක විශේෂයෙන්ම තේසවලාමේ නීතියත් මුස්ලිම් නීතියත් ඒ වගේම අපි සිංහල ජාතිකයින් පිරිසකට උඩ රට නීතියත් විදිහට බලපානවා.

මේ නීතින් ඔක්කොම එකට එකතු වෙලා බැලුවත් අපිට කියන්න තියෙන්නේ නීතියේ සමහර අවශ්‍යතාවලදී සමහර නීතින් අනිත් ජාතීන්ට ගැලපෙන්නේ නැහැයි කියන එකයි.මේවා ඇවිල්ල ආගමානුකූලව චාරිත්‍ර වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ඒ අයගේ සංස්කෘතිය තුළින්. යුද්ධයක් අවසානයේ නැවතත් අපි ආපහු ජාතීන් ලෙස බෙදිලා රණ්ඩු කර ගන්නවා ද කියලා හිතන තැනට අද ආපසු ගමන් කරන්නට අර ගෙන තියෙනවා.

ඉතිං මේ වෙලාවේ අපි එකම රටක් හැටියට එකම නීතියක් ගේන කොට මම විශ්වාස කරනවා.ඒ සියලු නීතින්වලට අපි සියලු දෙනාම ගරු කළ යුතුයි කියලා.2009 2008 වර්ෂයේ ගරු මිලින්ද මොරගොඩ ඇමතිතුමා අධිකරණ ඇමතිතුමා ලෙස කටයුතු කරන වෙලාවේදී මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනය කරන්න එතුමා කමිටුවක් පත් කරලා තියෙනවා .ඒ කමිටුවේ 16 දෙනාට එක මතයකට එන්න අද බැරි වෙලා තියෙනවා.මේ නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ නායකත්වයට යම් කිසි සහයෝගයක් මේ සියලු ජාතීන්ගෙන් අපිට අවශ්‍ය වෙනවා.යම් යම් පොඩි පොඩි කරුණු පදනම් කර ගෙන ඒ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා.මුස්ලිම් නීතිය තුළ විවාහය හා දික් කසාදය සම්බන්ධයෙන් එක නීතියකුත් රටේ පොදු නීතිය තුළ විවාහ දික්කසාදය සම්බන්ධයෙන් තවත් එකක් තියෙන කොට ඇත්තටම අපි එතනම ජාතියක් විදිහට බෙදිලා ශ්‍රී ලාංකිකයෝ හැටියට බෙදිලා වෙන් වෙලා තියෙනවා.ඒ නිසා අපේ මන්ත්‍රිතුමා ගෙන ආව යෝජනාව ඉතාම කාලෝචිතයි.මේ තත්වය වෙනස් කර ගන්න යම් මට්ටමකට පාලනය කරන්න.මම විශ්වාස කරන විදිහට අපි රටේම අධ්‍යාපන ක්‍රමවේදයක් ඉස්සෙල්ලාම ඇති කරන්න ඕන.රටේ අපරාධ නීතිය සහ නීති ක්‍රමවේදයන් මේ රටේ අධ්‍යාපනයට ඇතුල් කරන්න කියලා අපි යෝජනා ගෙනල්ලා සම්මත කරලා තියෙනවා .අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා ඒ කටයුතු කර ගෙන යනවා.නිතිය පිළිබදව දැනුම අවශ්‍යයි.ඒ වගේම අධ්‍යාපනය කෙරෙන කොට භාෂාව සිංහල ද දෙමළද ඉංග්‍රිසි ද කියන එක නෙමෙයි එක ක්‍රමයකින් මේ අධ්‍යාපනය සිදු විය යුතුයි .අද අධ්‍යාපනය ලෙස අපි සිංහල පාසල් ද මුස්ලිම් පාසල් ද දෙමළ පාසල් ද කියලා බෙදිලා වෙන් කරන කොට එතනත් අපි වෙන් වෙලා.අපි කුඩා කාලයේ ඉස්කෝලෙට යන කොට යන බෞද්ධ අය බෞද්ධ පන්තියට ගියා මුස්ලිම් අය මුස්ලිම් පන්තියට ගියා දෙමළ අය දෙමළ පන්තියට ගියා.කතෝලික අය කතෝලික පන්තියට ගියා අද මේවා වෙනස් වෙලා.

අඩුම ගානේ මේ තත්වය හදන්න නීති හදන්න ඉස්සෙල්ලා පාසලින් පුංචි ළමයාගේ ඔලුවට දාන්න ඕන කියන එක රජය විශ්වාස කරන නිසා තමයි එයට අනුමැතිය ලැබුනේ.මේ කටයුතු මෙහෙම කර ගෙන යන කොට නැගෙනහිර පළාතේ වෙනම විශ්ව විද්‍යාලයක් හදලා .මේ විශ්ව විද්‍යාලය ගැන නොයෙකුත් කතන්දර තියෙනවා .අපි මේ රටේ විශ්ව විද්‍යාල ප්‍රති පාදන කොමිෂන් සභාව තියෙනවා.මේ ප්‍රති පාදන කොමිෂන් සභාවෙන් පිටත පාලනයකට රටකට 2011 වසරේ ලබාදීලා තියෙන්නේ මේකට මුදල් ආවේ කොහොම ද .දැන් ඒ කාලය තුළ වෙච්ච යම් යම් දේවල් හැම එකක්ම බැර කරන්නේ මේ පවතින ආණ්ඩුවටයි චෝදනාව එල්ල වෙන්නේ .නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල හදපු එක අමතක කරලා තියෙනවා.

තවුහීද් ජමාත් මේ සංවිධාන හදන්න මුල පුරපු අය අද එම දේශපාලනය වෙනුවෙන් බලය පවත්වා ගෙන යන්න එකි නෙකා ඇණ කොටා ගන්න එකට තමාගේම එකම ජාතීන් බෙදලා වෙන් කරපු එක අපි වගකියන තත්වයකට පත් කරලා තියෙනවා .මේවා කාලයක් තිස්සේ ගොඩ නැගිච්ච දේවල්.අපි වගකීමක් ඇති කියනවා අපේ රජය වෙනුවෙන් අපි මොනම හේතුවකටවත් කිසිම ජාතියක් බෙදලා වෙන් කරන්න සුදානම් නැහැ.හැම මනුෂ්‍ය යෙකුටම ජීවත් වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙනවා.මේ වෙලාවේ අපි නීතිය සකස් කරන කොට ලොකු කතිකාවතක් ඇති කර ගන්න ඕන.

පහුගිය කාලයේ මේ තත්වයත් එක්ක ආරක්ෂක අංශ වලින් දැඩි ඉල්ලීමක් තිබුණා.මේ කාන්තාවන්ගේ ඇදුම ගැන.ඒ සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළාම මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා ගරු අගමැතිතුමා කිවුවා මුස්ලිම් ආගමික නායකයින් එක්ක කථා කරන්න කියලා.එදාම ඒක කළා.මම ඒ අයට පෙන්වා දුන්නේ මේ හේතුව නිසා දෙපැත්තක් අපහසුතාවයට පත් වෙනවා අපිත් කාන්තාවෝ .ඕනම ජාතියක කාන්තාවෝ වුණහම ආගම මොකක් වුණත් ජාතිය මොකක් වුණත් කාන්තාවන් හැටියට තමන්ගේ නිදහස සම්පුර්ණයෙන්ම නැති වෙලා තියෙනවා.සමහර වෙලාවට මේ ඇදුම නිසා සමහර තැන්වල යද්දි අපහසුතාවයට පත් වෙලා තියෙනවා .සමහර අය මේ ඇදුම නිසා බොරු ප්‍රචාර කරන්න ආරක්ෂක අංශවලට අපේ රාජ්‍ය අංශයට නොයෙකුත් අසත්‍ය චෝදනා කරනවා.සෞඛ්‍ය පද්ධතියේත් මේක තියෙනවා.මේ කාලය තුළ මේ ඇදුම නිසා කාන්තාවන් පරීක්ෂා කරන්න යන කොට ඒ අයට ඇති වෙන අපහසුතාවය සමාජය තුළ ගොඩ නැගෙන විරෝධය නැති කර ගන්න නම් ඒ ආගමික නායකයෝ එකම විදිහට එකට කටයුතු කරන්න ඕන.ඒ වගේම අනිත් පැත්තෙන් බලපුහම රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වෙලා තියෙනවා.අපි මේවා අකමැත්තෙන් වුණත් කියන්න ඕන.අපි දැකලා තියෙනවා මේ ඇදුම් ඇද ගෙන සමහර වෙලාවට සමහර අය තමන්ගේ ප්‍රයෝජනයට අවශ්‍යතාවයට ඇදුම ඇද ගන්න අයත් ඉන්නවා.මේක තර්ජනයක් වෙලා තියෙනවා.මේවා නීතියෙන් කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි.හැබැයි අපි ගරු කථානායකතුමාගේ මුලිකත්වයෙන් රැස්වෙලා මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂවල එකමුතුවෙන් යම් කිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජය හැටියට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.මම විශ්වාස කරන්නේ නීති හදන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් සමහර අය තමන්ගේ සංස්කෘතියට චාරිත්‍රයට වෙන හානිය ගැන වගකීමක් ඇතිව වැඩ කරනවා නම් තමන්ගේ සංස්කෘතිය චාරිත්‍රය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරනවා නම් වෙනම නීති අවශ්‍ය වෙන්නේ නැහැ.මේක කරද්දී ඉදිරියේදී මේ තත්වය පිළිබදව අපිට අධ්‍යාපනය හරහා ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලවල් වලට අනුගත වෙද්දී සමහර නීති අපිට ක්‍රියාත්මක කරන්න වෙයි .අපි සියලු දෙනාම සිංහල ද මුස්ලිම් ද ද්‍රවිඩ ද මොන ජාතියක වුණත් එහෙම නැත්නම් ඉංග්‍රිසි කථා කරන අයත් දෙමළ භාෂාව කථා කරන අය ද සිංහල ද කියලා නැතිව අපි ශ්‍රී ලාංකිකයින් ලෙස එක තැනක එක විදිහකට කටයුතු කරන හැම අංශයකටම සිද්ධ වෙන නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙයි කියලා තමයි මම මේ වෙලාවේ විශ්වාස කරන්නේ යැයි ද අමාත්‍යවරිය මෙහිදී තවදුරටත් සදහන් කළාය.