අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පැතුම !

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පැතුම !

බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මේ වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටී.

ඒ නිවේදනයේ මෙසේද දැක්වේ:

මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්තවාදි ප්‍රහාර මාලාවක් හේතුවෙන් ශ්‍රී ලංකා සමාජය කැලඹීමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. පොදුජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුවද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය පුද්ගල ආධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තියද අරමුණු කොටගත් උතුම් ධර්ම මාර්ගයකි.

වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව පැවසූ බුදුන් වහන්සේ නිර්වාණ මාර්ගය විහිදී ඇත්තේ සකල සත්ත්වයන් කෙරෙහි වන මෛත්‍රිය ඔස්සේ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. එබැවින් ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැලඳගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. මේ අර්බුදකාරි අවස්ථාව පිළිබඳ මනා වැටහීමෙන්, ඉවසිලිවන්තව, සංයමශීලිව කටයුතු කරමින්, ජාතික ආරක්ෂාව ඇති කිරීම සඳහා සහාය දුන් සමස්ත ජනතාවට මාගේ හෘදයංගම ප්‍රණාමය පුද කරමි. අසත්පුරුෂයා සත්පුරුෂකමින්ද, වෛරය අවෛරයෙන්ද, අධර්මය ධර්මයෙන්ද, අසත්‍යය සත්‍යයෙන්ද දිනවීමට පෙරමුණ ගන්නා අර්ථවත් සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න