Language Switcher

V2025

බොර දියේ මාළු බාන්න ගිය :  විදුලි ඉංජිනේරු සංගමයට නඩු !

ඉතා කූඨ ලෙස අධිකරණ තීන්දුවක් පවා මග හැර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා වැටුප් වැඩිකර ගැනීමට විදුලි ඉංජිනේරු සංගමය ක්‍රියාකිරීමට එරෙහිව නීතිය හමුවට යාමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කර ඇත.

ඒ සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එහි සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් පවත්වාගෙන යනු ලබන අකුරට වැඩ කිරීමේ වෘත්තිය කියාමාර්ගයට එරෙහිව නඩු පැවරීම

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු  සංගමය විසින් 2019/05/09 දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලී සිටී.

එහිදී ඔවුන්ගේ අරමුණ  වන්නේ තමන්ගේ අඩු කරන ලද වැටුප් යලි වැඩි කර ගැනීමයි. වැටුප් අඩු කිරීමට හේතු වූයේ 2015 වර්ෂයේදී ඉංජිනේරු සංගමයට වැඩි කරන ලද වැටුප් වැඩි කිරීම අසාධාරණ බව අධිකරණය තීන්දු කිරීමයි.

අධිකරණ තීරණයට පයින් ගසා ඔවුන් උත්සහ කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා සිය වැටුප් යළි වැඩිකර ගැනීමටයි.

මෙම අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිළිබදව විශාල ගැටලුවක් පැන නැගී ඇති නිසාත් විදුලිය අඛණ්ඩව සැපයීම ජාතික අව්‍යතාවයක් වන නිසාත් විදුලි ඉංජිනේරැ සංගමයේ අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව අප සංවිධානය විසින් 2019/05/17 වන දින කොළඔ දිසා අධිකරණයේ නඩු අංක  DSP 00090/19 යටතේ නඩු පවරා ඇත. එම නඩුව 2019/05/21 දින කැදවීමට නියමිතය.

අප අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ  වෙසක් හා පොසොන් උත්සව අවසාන වන තෙක් හා හදිසි නීතීය ඉවත් කරන තෙක් විදුලි ඉංජිනේරැ සංගමයේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග නවත්වා ලීම සදහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

2015 සිට අනීතිකව ඔවුන්ට ගෙවා ඇති බිලියන 7 ක මුදල අනීතිකව වැටුප් වැඩිකල නිළධාරීන්‌ගෙන් නැවත අය කර ගැනීම සදහාද අප සංවිධානය විසින් තවත් නඩුවක් ගොනු කිරීමද නියමිතය. 

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය