අන්තවාදීන්ට ඕන විදිහට වැඩ කලා ඇති : කකුල් මාට්ටුත් ඇති - දුමින්ද

අන්තවාදීන්ට ඕන විදිහට වැඩ කලා ඇති : කකුල් මාට්ටුත් ඇති - දුමින්ද

අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ,මිහින්තලය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මහකිරින්දේගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"ආණ්ඩුවක් කරන විට විරුද්ධ පක්ෂය හැමදාමත් විරුද්ධයි. හැබැයි දැන් අපි එහෙම නෑ. අපි ගහමරා ගත්තා ඇති දැන්, අපිට ආයේ ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවම. අපි ඒ මැතිවරණයේදී අපේ පක්ෂයට කතිරය ගහනවා, අනෙක් කට්ටිය ඒ ගොල්ලන්ට කතිරය ගහනවා, අවසානයේ පාර්ලිමේන්තුවේ 113 ක් හදා ගන්න කණ්ඩායම ආණ්ඩුව බවට පත් වෙනවා.ඉතුරු අය යනවා විපක්ෂයට.අතීතයේ ඉඳන් පුරුද්ද තිබුණේ විපක්ෂයට ගිය දවසේ ඉඳන් ආණ්ඩුවට බනින එක,මොන හොඳ වැඩේ කළත් ආණ්ඩුවට බණිනවා, ඒ වගේම ආණ්ඩුව කරන වැඩ වලක්වන්න තමයි විපක්ෂය වැඩ කරන්නේ.

හැබැයි දැන් අපි එහෙම නෑ, 2015 යහපාලන ආණ්ඩුවක් හදාගත්තා, ඒ ආණ්ඩුවේ සාර්ථක අසාර්ථක බව වෙනම වැඩක්. හැබැයි අපි ප්‍රථිපත්තියක් විදිහට , අපි ආණ්ඩු හදන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණයකදී, ඒක අපි පැරදුනා කියලා ඉන්න ආණ්ඩුවේ කකුලෙන් ඇද්දොත් ඒ ආණ්ඩුව අඩි දෙකක් ඉස්සරහට යද්දී අපි කකුලෙන් අදිද්දී තව අඩි 03 ක් පස්සට එනවා, හැමදාමත් මේ රට එකම තැන, සිංගප්පූරුව එදා කිව්වේ ලංකාව වගේ සිංගප්පූරුව දියුණු කරන්න ඕන කියලා, අපේ තිබුණ තට්ටු නිවාස ක්‍රම බලලා තමයි සිංගප්පූරුව තට්ටු නිවාස හැදුවේ.සිංගප්පූරුවේ ඉතිහාසය අවුරුදු 100 ක්වත් නෑ, අපේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක්, හැබැයි තාමත් අපි එක තැන, අපි මේ දේශපාලනයේදී දේශපාලනය කරන්න ඕන කාලයේ දේශපාලනය කරන්නේ නැතිව, අනවශ්‍ය දේශපාලනයක් කරලා අපි මේ රට අවුලෙන් අවුලට දාලා තියෙන එක තමයි අපි කරලා තියෙන්නේ.

මේක මමත් කරලා තියෙනවා, අපේ පක්ෂත් කරලා තියෙනවා, අනෙකුත් පක්ෂත් කරලා තියෙනවා. ජන්දේ කාලෙට ගහගමු මරාගමු ඕන දෙයක් කරමු, හැබැයි ඒ ජන්දය පැරදුනොත් අපි පිළිගන්න ඕන අපි පැරදුනා කියන කාරණාව.අපි ඊළඟට දිනන්න උත්සහ කරන්න ඕන ඊළඟ මැතිවරණයේදී මිසක් පැරදුන දා ඉඳන් දිනපු අයගේ කකුලෙන් ඇද්දොත් කොහොමද රටක් දියුණු වෙන්නේ.ඒ නිසා දේශපාලනයෙන් ගහබැණ ගත්ත, මරා ගත්ත යුගය අපි අවසන් කරන්න ඕන.

ඒකට තවත් හේතුවක් තියෙනවා, හැමදාමත් ගමේ උන් විතරනේ ගහගත්තේ, ලොක්කෝ ටික බේරිලා ඉන්නේ, පාස්පෝට් දෙක තිබුණ අය බේරිලා ඉන්නවා හිරේ යන්නේ නැතිව,හැබැයි අහිංසකයා පාස්පෝට් දෙකක් එක්ක අල්ල ගත්තොත් හිරේ යනවා. තව තව දේවල් කරපු අය උදේ පොලීසියට ගිහින් කටඋත්තරය දීලා හවස ගෙදර එනවා.ලොක්කෝ ටික සේරම හොඳට ඉන්නවා, ගමේ ඉන්න අහිංසකයෝ ටික තමයි ඥාතිකම -හිතවත්කම නැති කර ගෙන ගහමරාගෙන මේ සේරම විනාශයන් කරගන්නේ.

අද ගමෙනුත් දේශපාලන නායකයන්ට පණිවිඩයක් දෙන්න ඕන ඔබතුමන්ලා මෙහෙම ඉන්නවා නම් අපි සූදානම් ගමේ සමඟ වෙලා ගම ශක්තිමත් කර ගන්න වැඩ කරන්න අපි සූදානම් කියලා. 1948 ඉඳන් ගත්තාම අපි මේ වැරද්දමනේ කරගෙන තියෙන්නේ, ඒ නිසානේ අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.ඒ නිසා දැන් හරි අපි වෙනස් විය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න