පවුල් ලක්ෂ 6කට : අලුතින් සමෘද්ධිය !

පවුල් ලක්ෂ 6කට : අලුතින් සමෘද්ධිය !

පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවය මේ මස 30 දින සිට ජූනි මස 15 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සමෘද්ධි හිමිකම්ලාභි උත්සව මාලාවේ සමාරම්භක උත්සවය මේ මස 30 දින පස්වරු 2ට අම්පාර දිස්ත්‍රික්යේ දී අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

පසුදින ( 31) පෙරවරු 10ට පොළොන්නරුව දිස්ත්‍රික්යේ දී ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවය පැවැත්වෙන අතර එදින පස්වරු 2 ට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ ජනතාවට එම හිමිකම් පිරිනැමීම සිදු කරනු ඇත.

මෙවර අය - වැය යෝජනා අංක 162ට අනුව මුළු දිවයිනම අවරණය වන පරිදි තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා මහා භාණ්ඩාගාරය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන දස දහසකි.

වසර 2018 දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන වසම් මට්ටමින් සිදු කළ සමීක්ෂණයෙන් ලබාගත් දත්තවලට අනුව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මඟින් සකස් කළ ප්‍රමුඛතා ලේඛනවල නම් සඳහන් ප්‍රතිලාභීන් මේ සඳහා හිමිකම් ලබයි.

සමෘද්ධි සහනාධාර හිමිකම් ලැබීමෙන් අනතුරුව එම සෑම ප්‍රතිලාභ පවුලක් සඳහා ම සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ප්‍රදානය කරන ප්‍රතිලාභ රැසකට හිමිකම් කියයි. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සිදුවන දරු උපත් , විවාහ මංගල්‍යය, රෝහල්ගතවීම් සහ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් අමතර මුදල් ප්‍රදාන හිමිවනු ඇත.

එම පවුල්වල උසස් පෙළ හදාරණ සිසු දරුවන් වෙනුවෙන් වසර 2ක් සඳහා ශිෂ්‍යත්ව අධාර මුදල් ලබා ගැනීමට ද හිමිකම් ලැබේ. තවද මාසිකව දිනුම් අදින සමෘද්ධි නිවාස ලොතරැයිය මඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබා දෙන නිවාස 331ක හිමිකම් සඳහා ළඟා වීමට ද අවකාශ සැලසේ. මෙම නව සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදානය සඳහා අවශ්‍ය සියලු කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කෙරේ.

ඒ අනුව අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීම ජූනි මස 1 දින පෙරවරු 10ට මාතලේ දිස්ත්‍රික්කයේ දී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කරන අතර එදින පස්වරු 2ට නුවර දිස්ත්‍රික්යේ දී එම හිමිකම් ලබා දෙනු ඇත. ජූනි මස 2 දින පෙරවරු 10ට යාපනය දිස්ත්‍රික්කයේ දී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කරන අතර, එදින පස්වරු 2ට කිලිනොච්චියයේ දී සිදු කරයි.

ජූනි මස 3 දින පෙරවරු 10ට කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී ත්, එදින පස්වරු 2 ට කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ දීත් අලුතින් සමෘද්ධි හිමිකම් පිරිනැමේ.

ලබන 8 දා පෙරවරු 10 ට මාතර දිස්ත්‍රික්කයේත් එදින පස්වරු 2ට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම දීත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදේශයේ ජනතාවට අලුතින් සමෘද්ධි හිමිකම් පිරිනැමේ.

9 දා මන්නාරම, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත්, 10 දා පෙරවරු 10ට පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ජනතාවටත්, එදින පස්වරු 2 ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ජනතාවටත් මෙම හිමිකම් ලැබේ.

මේ 11 දින පස්වරු 2ට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත්, 12 දා පෙරවරු 2ට කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ජනතාවටත් අලුතින් සමෘද්ධි හිමිකම් හිමිවනු ඇත.

13 දා පෙරවරු 9.30 ට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිලත්, පස්වරු 2. ට මඩකලපුවේත් ජනතාවට හිමිකම් පිරිනැමේ. 14 දා පෙරවරු 10ට මොණරාගලත්, එදින පස්වරු 2ට රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ලේදීත් සමෘද්ධි හිමිකම් පිරනමන අතර, 15 දා පෙරවරු 10 ට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවටත්, එදින පස්වරු 2 ට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවටත් අලුතින් සමෘද්ධි හිමිකම් හිමිවනු ඇත.

මෙම අවස්ථාවට මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වෙති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න