ජනාධිපති සිරිසේනට : පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා භීතිකාවක් !

ජනාධිපති සිරිසේනට : පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා භීතිකාවක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධව ජනාධිපති සිරිසේන දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට හේතුව ලෙස වාර්තා වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ඇදහිය නොහැකි දුර්වල සහ අකාර්යක්ෂමතාව මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම හමුවේ අනාවරණය වෙමින් තිබීමය.

ගොඩින් බේරගෙන ඉවරයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පැවති පොදුජන කනස්සල්ල සහ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධ කරුණු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉවත් කිරීම සහ පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීම හරහා යටපත් කිරීමට ජනාධිපති සිරිසේන උත්සාහ කළ නමුත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හමුවේ ඒ උත්සාහය ව්‍යර්ථ වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන මේ කිසිවකට තමන් වගකිවයුතු නැති බව පෙන්වීමට උත්සාහ කළත් වගකිවයුතු පාර්ශව කැදවා ප්‍රශ්න කිරීමේදී ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනාධිපති සිරිසේන දක්වා ඇති බරපතල නොතකා හැරීම ඇතුළු චෝදනා රැසක් ඔහු වෙත සෘජුව එල්ලවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

ජාතික බුද්ධි ප්‍රධානියා වටේ ගියත් අහුවුණා !

ඊයේ ( 29 ) පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් ජාතික බුද්ධි ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස් හරහා අනාවරණය වූ කරුණු ඊට හොදටම ප්‍රමාණවත්ය. එහිදී 2019 පෙබරවාරි මාසයෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ 2019 අප්‍රේල් 21දක්වා ආරක්ෂක මණ්ඩලය රැස්වී නොමැති බව අනාවරණය විය.

අප්‍රේල් 4 වන විට ප්‍රහාරයක් සම්බන්ධව විදෙස් බුද්ධි වාර්තා පවා ලැබී තිබුණ බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධව නිසි විධාන සැපයීමක් කොතැනකදී හෝ සිදුව නොමැති බවත් එහිදි අනාවරණය විය.

IMG 20190530 121042බොරු බිල්ලන් මවයි !

එහෙයින් මේ වන විට ජනාධිපති පාර්ශවය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හමුවේ බුද්ධි අංශ නිලධාරීන් අනාරක්ෂිත බවට සාවද්‍ය බිල්ලන් මවන පුවත් ප්‍රචාරය කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ පිළිබඳ ලැබී ඇති වැඩිදුර තොරතුරු වලට අනූව ක්ශේත්‍ර රාජකාරි සිදුකරන කිසිදු බුද්ධි අංශ සාමාජිකයකු පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම සදහා කැදවා නැත. ඒ වෙනුවට ඊයේ (29) ආරම්භ වූ සාක්ෂි විමසීම සදහා කැදවා ඇත්තේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ශාන්ත කෝට්ටගොඩ පමණය.

ක්ශේත්‍ර රාජකාරි කරන බුද්ධි නිලධාරීන් කැදවා නෑ !

එබැවින් එහිදී ප්‍රශ්න කෙරුණේ ක්ශේත්‍ර රාජකාරියේ නියැලෙන බුද්ධි අංශ සාමාජිකයන් ලබාදුන් බුද්ධි වාර්තා සහ විදෙස් බුද්ධි වාර්තා සම්බන්ධව වගකිවයුතු ප්‍රධානීන් නිසි ලෙස කටයුතු කර ඇද්ද ? නැද්ද ? සහ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔවුන් දක්වා ඇති අවධානය සම්බන්ධව පමණි.

නමුත් ජනාධිපති සිරිසේනගේ පාර්ශවය සහ පොහොට්ටු පාර්ශවය ඊට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයන්ගේ ජීවිත අනතුරේ වැනි බහුභූත අදහසකි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම !

එසේම මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හුදෙක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කිරීමේ උත්සාහයක් තිබී නැත. ඒ වෙනුවට පළමු අවස්ථාවේ සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන්න පත්කල මෙකී තේරීම් කාරක සභාවේ අන්තර්ගතය යෝජනා වූයේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන ආකාරයටය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කෙරිණ. මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ශවය අවධාරණය කර තිබුණේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධ කාරණයක් මෙහි මූලික තේමාව වී තිබීම නිසා තමන් මීට එක්නොවී නිකුත්කරන වාර්තාව අනුව ඉදිරි තීන්දු තීරණ ගන්නා බවය. එසේම එම සන්ධානයේ ඇතැම් පක්ෂ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධව සෘණ ආකල්පයක සිටියි. ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය මීට සහභාගී නොවීම යම් ආකාරයකට ආරක්ෂණවාදී දේශපාලන උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

අත් පොහොට්ටු සෙල්ලම මොකක්ද ?

නමුත් ප්‍රශ්නය ඇත්තේ ජනාධිපති සිරිසේනගේ ශ්‍රිලනිප පාර්ශවය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය මීට සහභාගී නොවීමය. එය පැහැදිලිව පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමේ උත්සාහයක් මිස අනෙකක් නොවේය.

අද බුද්ධි අංශ සාමාජිකයන් අනාරක්ෂිතයි කියා කිඹුල් කදුළු හෙලන්නේද එහි තවත් පියවරක් ලෙසය. ජාතික ආරක්ෂාව යන වචනය තරම් මේ රටේ දුෂ්ට පාලකයන් අතින් දැන සහ නොදැන දූෂණය වූ තවත් වචන සීමිත බැවින් ඒ ගැන හරි අවබෝධයක් ජනතාව ලැබිය යුතුව තිබේ.

ඇත්ත දැනගන්නට අවශ්‍ය නැද්ද ?

අප්‍රේල් 21 ක පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවු අවස්ථාවේ දැඩි කම්පනයක් මෙන්ම සෝ සුසුම් ගංගාවක ගිලීගිය සමාජය අනතුරුව ජාතිවාදී ආගම්වාදී පදමින් එකිනෙකා අවිශ්වාස කරන වෛරයෙන් බලන අවසානයේදී ජාතිවාදී කෝලාහලයක් හරහා රටම එක ලේ විලක් වීමේ අවධානමක් ඉස්මතු විය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය සමස්ථ මුස්ලීම් ප්‍රජාව ත්‍රස්තවාදීන් කර සිංහල බෞද්ධ , කතෝලික ජන කොටස් වල වෛරය ඒ වෙත මුදාහැරීමට කටයුතු කරනු දක්නට ලැබිණ. එසේම දින කිහිපයක් යනතුරු මිනිසුන් සිය සාමාන්‍ය දෛනික ජීවන කටයුතු වලට පවා යොමුවූයේ නැත.

කොටින්ම ළමයි පාසල් යැවීමට පවා මව්පියන් බියෙන් මුසපත්ව සිටියේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙනම මාධ්‍ය හමු පවත්වමින් පාසල් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල වීම ගැන භීතිය වර්ධනය කළ අතර ඔහුගේ ගෝලයින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය වු බවට සජීවී රූපවාහිනී සංවාද තුළ අමු බේගල් ඇදබෑමේ සිට සෑම අවස්ථාවකම ජාතික රාජ්‍ය අනතුරේ බව කියමින් ජනතාව භීතියට පත්කරන්න නොගත් උත්සාහයක් නැත. මේ පාර්ශව හිතවාදී මාධ්‍ය පවා ජාතිවාදී අදහස් පෝෂණය කරමින් රට බරපතල අවධානමක හෙලූ බවත් රහසක් නොවේය.

namal kumara 1000px

නාමල් කුමාර ගේ වයඹ මෙහෙයුම !

සියල්ල අතර පාස්කු ප්‍රහාරය එල්ලවී සති තුනක් ඉක්ම යන්න ආසන්නයේ වයඹ පළාතේ සහ ගම්පහ ස්ථාන කිහිපයක අහිංසක මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල විය. වඩාත් සංවිධානය කරවූ ඒ ප්‍රහාර අසල හිටියේ කවුද ? පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද , ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිව මාධ්‍ය හමු දෙකක් හරහා බන්ධනාගාර ගතකරවූ නාමල් කුමාර වැනි උදවිය ය.

නාමල් කුමාර වැනි පාදඩයකුගේ මාධ්‍ය හමුවක් නිසා සිරගත කළ ත්‍රස්ත මර්දන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඒ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට නායකත්වය ලබාදුන් සහරාන් හාෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගෙන තිබී ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබෙන බවත් මෙහිදී සිහිතබා ගත යුතුව ඇත.

එසේම ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර මාධ්‍ය හමු පැවැත්මට සමගාමීව ඒ පාදක කරගෙන ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ බවත් සිහිපත් නොකර නොහැක.

01col8202402321 7746353 26102018 SIS

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම !

 ඒ අනුව නම් පාස්කු ප්‍රහාරය ගැන පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසුව සති තුනක් ගෙවීයන්න ආසන්නයේ දියත් වූ ප්‍රහාර ගැන සෙවීමේ අනුලංඝනීය අයිතියක් මෙරට ව්‍යවස්ථාදායකයට එනම් පාර්ලිමේන්තුවට නොමැතිද ? යන්න මෙහිදී අවධාරණයට ගතයුතු කරුණයි. එසේම ජාතික ආරක්ෂාව පමණක් නොව නීතිය හා සාමය අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපති යටතේය. එහෙත් ජනාධිපතිට නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ වන පොලිස් දෙපාර්තමේන්තුව තබාගත නොහැකි බව සහ එය ව්‍යවස්ථා විරෝධී බව විද්වත් මතය වී තිබේ. නමුත් එක්සත් ජාතික පෙරමුණ මේ සම්බන්ධව නිසි විරෝධයක් දක්වන බවක් පෙනෙන්නට නැත. මීට පෙර ජනාධිපති සිරිසේන පසුගිය ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය දියත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළත්, අගමැති ධුරය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ලබා ගැනීමෙන් එහාට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන ගෙන නොයාමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය කටයුතු කර ඇත.

එවැනි පසුබිමක පාස්කු ප්‍රහාරය එල්ලවු අතර ඊට අදාල ආරක්ෂක අංශ සහ වගකිවයුතු දේශපාලන තන්ත්‍රය සිය කටයුතු කරාද නැද්ද යන්න සම්බන්ධව පැහැදිලිතාවක් ජනතාව ලැබිය යුතුය. සියල්ලට වඩා පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරැදි කවුද යන්නට වඩා වරද කොතනද යන්න දැන ගැනීමේ අයිතියක් ජනතාව වෙත ඇත. මේ බුද්ධි අංශ සාමාජිකයන් අනාරක්ෂිත බව කියන ව්‍යාජ ප්‍රකාශ සහ පුවත් පසුපස ඇත්තේ ජනතාව ඇත්ත දැනගන්නට ඇති අයිතිය සහ අවස්ථාව කඩාකප්පල් කිරීමය.

ජන ජීවිත පාලකයන්ගේ කොන්ඩම් විය යුතුද ?

විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන බෝම්බ දුමාරය මැකෙන්නට පෙර ත්‍රි පුද්ගල කමිටුවක් පත්කල අතර එහි අතුරු වාර්තාවක් ද නිකුත් කෙරිණ. එහෙත් එහි ඇත්තේ මොනවද අප කවුරුත් දන්නේ නැත.මිනිස් ජීවිත කියන්නේ පාලකයන්ගේ අශ්ලීල බල ව්‍යාපෘති සදහා යොදාගනිමින් සිටින කොන්ඩම් නොවේ. එබැවින් පාලකයන් අපේ ජීවිත රකින්න කොතරම් අවධානයක් යොමුකර ඇතිද යන්න හෝ දැන ගැනීමට අපට අයිතියක් ඇත.

සැබැවින්ම මේ අවස්ථාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ හැසිරීමේ ප්‍රශ්නය ඇත්තේ බුද්ධි අංශ සාමාජිකයන් වෙත නොව මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ , ඒ වෙනුවෙන් වගකීම් රාජකාරි ඉටුනොකල උදවියටය. ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම මාධ්‍ය වෙත විවෘත කර ඇති නිසාය. ඒ හරහා ඇත්ත ඇති සැටියෙන් ජනතාව දැනගන්නා නිසාය. බුද්ධි අංශ සාමාජිකයන් අනතුරේ වැනි දන්තුරේ සටන් පාඨ ඇදලා වහන්න යන්නේ ඒ අවස්ථාවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න