Language Switcher

V2025

මුස්ලීම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමට මංගල විරුද්ධයි : ජාතිවාදීන්ට හිස නවන්න එපා කියයි !

අතුරලියේ රතන හිමිගේ මාරාන්තික උපවාස සංදර්ශනය හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලීම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශවය සමග පැවති සාකච්ඡාවෙන් පසුව ආණ්ඩුව නියෝජනය කරන සියළුම මුස්ලීම් ජාතික මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරය වෙත පැමිණ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හමුව තිබේ.

ආණ්ඩුවේ සියළු මුස්ලීම් මැති ඇමතිවරුන් ෆවුසිගේ ගෙදර !

ඒ ඊට පෙර එච්. එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසට රැස්වූ සියළු මුස්ලීම් මැති ඇමතිවරුන් එක්ව ගනුලැබූ තීරණය දැනුම්දීමටය.

එහිදී ආණ්ඩුවේ සිටින ජේෂ්ඨ මුස්ලීම් අමාත්‍යවරයෙකු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන්ට පවසා ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා ධූරයෙන් ඉල්ලා අස්වීම සිදුකර ඇත්තේ රට පුරා ජාතිවාදී කෝලාහලයක් සම්බන්ධව තර්ජනය කිරීමෙන් බවත් ඒ ක්‍රමයට ආණ්ඩුව වෙත තර්ජනය කිරීමේ අවධානමක් ඇති බැවින් ආණ්ඩුව නියෝජනය කරන සියළු මුස්ලීම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

ලේ සොලවන්න ඉඩනොදී ගත්ත තීරණයක් !

මෙම තීරණය තාවකාලික බවත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සහ විශ්වාසභංග යෝජනා විවාදයෙන් පසුව මේ ප්‍රශ්න නිරාකරණය වනු ඇති බවට විශ්වාසයෙන් පක් භේදයකින් තොරව සියළු මුස්ලීම් අමාත්‍යාවරුන් ඉල්ලා අස්වීමට තීරණය ගනුලැබූ බවත් එම අමාත්‍යවරයා පවසා ඇත. එසේම රටේ ලේ සෙලවීමක් සිදුකර දේශපාලන වාසි ගැනීමට නන්නත්තාර වූ පිරිසක් බලා සිටින බවත් පවසා තිබේ.

බණ්ඩාරනායක කරපු වරද ආයෙත් වෙන්න දෙන්න එපා !

මෙහිදී මංගල සමරවීර අමාත්‍යවරයා පවසා ඇත්තේ 1958 අප්‍රේල් 09 වනදා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ඉවත්කර ගැනීම වැනි වරදට සමාන වරදක් මුස්ලීම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම හරහා සිදුවන බවයි.

එදා බණ්ඩාරනායක මහතාට නිවැරැදි දේ වෙනුවෙන් කෙළින් තීන්දුවක් ගැනීමට කොන්ද පණ නොතිබූ නමුත් ඒ වරද ආකාරයේ වරදක් යළිත් සිදුවන මේ තීරණයට තමන් දැඩිව විරුද්ධ බවත් මංගල සමරවීර අමාත්‍යවරයා පවසා ඇත.

හිතලා ගත්ත තීරණයක් !

එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඉල්ලා අස්වීම වෙනුවට ජනතාව වෙත සැබෑ තත්ත්වය පැහැදිලි කරන්න වෙහෙසිය යුතු බවය.

නමුත් ඊට මුස්ලීම් මැති ඇමතිවරුන් එකඟතාව පළකර නොමැති අතර ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නිවැරැදි බව පාර්ලිමේන්තුව හමුවේ ඔප්පු වනතුරු තමන් අමාත්‍ය ධූර අත්හැර සිටීම උචිත බවය.

එම අවස්ථාවේ සිටි අමාත්‍ය හර්ශ ද සිල්වා ද මුස්ලීම් මැති ඇමතිවරුන් ගෙන ඇති තීරණය නිවැරැදි බව සදහන් කර ඇත.

මුස්ලීම් අමාත්‍යවරුන් සමග අපිත් අස්වෙමු - මංගල

එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා මුස්ලීම් අමාත්‍යවරුන් සමග තමන්ද අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත. එසේම අවශ්‍ය නම් තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකු හෝ මුස්ලීම් අමාත්‍යවරුන් ට සහය දක්වමින් ඉල්ලා අස්වීම වැදගත් බවත් ඒ හරහා මේ රතන හිමි ඇතුළු පිරිසක් මතුකරණ ගෝත්‍රික ජාතිවාදී මතයට එරෙහිව මතයක් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත.

එසේම ජාතිවාදී මිලේච්ඡ ප්‍රවණතා හමුවේ හිස නැවිය යුතු නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය සම්බන්ධව මුස්ලීම් ප්‍රජාව ට ඇති විශ්වාසයට හානියක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ජාතික සමගිය සහ යුක්තිය වෙනුවෙන් සටන් කරමු : මංගල අස්වෙන්න එපා - අගමැති රනිල්

ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට මැදිහත්ව පවසා ඇත්තේ මේ මොහොතේ මුස්ලීම් මැති ඇමතිවරුන් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවය. එසේම ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතා නැතිකර , යුක්තිය ඉටුකර ගැනීමට උපරිමයෙන් ක්‍රියාත්මක වෙමු කියාද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇත.

මේ අවස්ථාවේ මුස්ලීම් මැති ඇමතිවරුන් ද මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසගෙන් ඉල්ලා ඇත්තේ අමාත්‍ය ධූර වල රැඳීසිට යුක්තිය ඉටුකර ගැනීමට මැදිහත් වන ලෙසය.