බලශක්ති සංරක්ෂණයට අලුත් චක්‍රලේඛයක් !

බලශක්ති සංරක්ෂණයට අලුත් චක්‍රලේඛයක් !

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඒ අනුව රාජ්‍ය ආයතනයන්හි බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීම තුළින් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබදව පෙළඹවීමක් මෙන්ම යොමුකරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සදහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය එක්ව දියත් කරනු ලබන මෙම ක්‍රියාවලිය සදහා සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ. ඒ අනුව ඉහත සදහන් සෑම ආයතනයක් තුළම බලශක්ති කළමණාකරුවෙක් පත්කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ.

මෙම කමිටුව මගින් තම ආයතනය තුළ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබදව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.

මෙම වැඩසටහන තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 300 ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිත අතර එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමාන වේ. ඒ අනුව මෙම ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය තුළින් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10% කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීම ඉලක්ක කර තිබේ.

දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තිය සදහා ඇති ඉල්ලුමද නිරන්තරයෙන් වර්ධනය වේ. ඒ අනුව පවතින සීමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටකට, ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී ගැටළු කිහිපකයට මුහුණදිමට සිදුවේ. අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදුකළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වනවිට ඒ සදහා යොදා ගතහැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25% ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බවද වාර්තා වේ.

ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබදව ජාතික වැඩසටහන හදුන්වාදීමෙන්, විදුලි පාරිභෝගික ජනතාව අපතේ යාමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේදී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න