ලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමග සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත්තා. දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන් අද හැකිවුණා. මාධ්‍ය තුළින් යම් වැරදි නිවේදන නිකුත් වූ නිසා දෙපාර්ශවයම සාකච්ඡා කරලා ඒ තුළින් ප්‍රශ්න සියල්ල සමතයකට පත් කරන්න අද අපිට හැකි වුණා යැයි විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සූර්යබලසේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලිබල ක්ෂේත්‍රයේ ගාස්තු ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
තවද මේ වසරේ අගෝස්තු 01 දින සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනැම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සදහා වසර 20ක කාලය තුල විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රු. 19.75 ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදි ගැනීමේ එක් ඒකකයක ගාස්තුව රු. 18.75 ක් ද, කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රු. 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බව අමාත්‍ය කරුණානායක පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මෙහිදී රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන සූර්ය බල සංග්‍රාමය ගත වූ වසර 02 ක කාලසීමාව තුලදී වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, මේ වනවිට සූර්යබලය දෙසට යොමූවී ඇති ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් සූර්යබල විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇතිකළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම් බටගොඩ පැවසිය.
නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලිබල පද්ධති සවි කර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක් කිරීම රජයේ අරමුණ වූ බවත්, 2020 වනවිට මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කල බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
මේ වනවිටත් එම මෙගාවොට් 200 ලබාගෙන ඇති බවත්, මේ වනවිට සමාගම් 200 ක් පමණ අළුතින් බිහිවී, ඒ තුලින් සෟජු රැකියා අවස්ථා දසදහසක් පමණ නිර්මාණය වී ඇති බවත් පැවසු අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය වකවානුවේදි මෙම සූර්යබල සංග්‍රාමය නවත්වන බවට ප්‍රචාරයක් පැවති බවත්, එහි කිසිදු සත්‍යයක් නොමැති බවත් පැවසීය.
සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇත. මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබේ.
මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා සූර්යබල සේවා සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයන්ද සිය අදහස් දක්වන ලදී.

