අතන මෙතන වඩින රතනට : ස්වාධීන ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ආරාධනයක් !

අතන මෙතන වඩින රතනට : ස්වාධීන ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ආරාධනයක් !

"ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නට අතුරලියේ රතන ස්වාමිපාදයන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! " යනුවෙන් දේශපාලන විචාරක, කතිකාචාර්ය සුමිත් චාමින්ද සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

එහිදී රතන හිමිගේ පසුගිය දින කිහිපයේදී පමණක් රට ජාතිය වෙනුවෙන් කළ මහඟු සේවාවන් කිහිපයෙන් බිඳක් යනුවෙන් කරුණු 12ක් අවධානයට යොමුකර ඇත.

මෙහිදී සුමිත් චාමින්ද කතිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ රතන හිමියන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හරහා පිරිසිදු සිංහල-බෞද්ධ ජන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජය ගන්නා අයුරු ලෝකයා හමුවේ විදහාපාන්නට අවස්ථාව හිමිවන බවය.

මේ රතන හිමිගේ පසුගිය හැසිරීම් සම්බන්ධ සිදුකරන උපහාසය මුසුකළ විවේචනාත්මක විග්‍රහයකි.

සුමිත් චාමින්ද සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන පහත දැක්වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නට අතුරලියේ රතන ස්වාමිපාදයන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
එතුමාණන් වහන්සේ පසුගිය දින කිහිපයේදී පමණක් රට ජාතිය වෙනුවෙන් කළ මහඟු සේවාවන් කිහිපයෙන් බිඳකි, මේ;

(1) අතිගරු යහපාලන ජනපතිදුන් සිංහල බෞද්ධ ජන්දදායකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා අතරම මුස්ලිම් ජන්දද බැලන්ස් කරගන්නට දැරූ දේශද්‍රෝහී උත්සාහය පරාජය කර දැමීම; එමගින් එතුමාගේ දෙවන ධූර කාලයක් ඇති වීමේ භයානක අවදානමෙන් රට ජාතිය බේරා ගැනීම.

(2) 2015 සිට සිංහල බෞද්ධ ජාතිකවාදයේ පරම අයිතිය හිමි කරගෙන සිටි 'රාජ-පක්ෂයට' (මෙය ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයයි) අභියෝග කරමින් එකී අයිතිය ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කිරීම.

(3) සිංහල-බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර පරතරය දුරස් කර දැමීම සහ එනයින් සිංහල බුද්ධාගමේ අසහාය නායකයා වන රාජපක්ෂගෙන් මුස්ලිම් ජන්ද දුරස් කර දැමීම; මෙහි අතුරු ප්‍රතිපලයක් ලෙස රාජපක්ෂ හට දළදා මාළිගාවේ උඩ මළුවේ සිට අගමැති කාර්යාලය දක්වා පළා යන්නට සිදු විය.

(4) රතන ස්වාමීන් වහන්සේගේ නිල නායකයා වන වික්‍රමසිංහගේ ජන්ද මල්ල තුළ ඇති සිංහල-බෞද්ධ ජන්දවල ප්‍රතිශතය තවත් අඩු කර දැමීම; එමගින් රතන ස්වාමීන් වහන්සේගේ චිරකාලීන දේශපාලන සගයා වන චම්පික රණවක මැතිතුමාවද අමාරුවේ දැමීම. (එතුමා දැන් මනාප දිනාගත යුත්තේ සිංහල-බෞද්ධ ජන්ද අඩු වූ ජන්ද මල්ලක් තුළිනි).

(5) මුස්ලිම් දේශපාලන නායකයින් එක් පෙරමුණකට ගෙන ඒම මගින් ඉදිරියේදී ඔවුන්ට අවශ්‍ය නම් වෙනම කණ්ඩායමක් ලෙස ප්‍රධාන පක්ෂ දෙක සමග කේවල් කිරීමේ හැකියාව ලබා දීම. (මෙය සුළු ජාතික අයිතීන් වෙනුවෙන් රතන හිමි කළ ඓතිහාසික දායකත්වයකි).

(6) දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකත්වයන් අතර සුළු ජාතික අයිතීන් වෙනුවෙන් සම්මුතියක් ඇති කරගැනීමේ උනන්දුව ඇති කිරීම.

(7) සිංහල බෞද්ධ දේශපාලනයේ අන්තවාදී මෙන්ම මධ්‍යස්ථවාදී ධාරාවක්ද තිබෙන බව බොහෝ කලකට පසුව ලෝකයාට පසක් කර දීම; අන්තවාදයේ ස්ථානය තමන් වහන්සේ විසින් එක පැහැර අත්පත් කරගැනීම මගින් ඥානසාර හිමියන්ට කෙටිකාලීන පදනමකින් මධ්‍යස්ථවාදී වීමේ අවස්ථාවක් උදා කර දීම.

(8) ඥානසාර හිමියන් හට ආගමික සහජීවනයේ සටන් පාඨ වර නැගීමේ අවස්ථාව හිමි කර දීම; එමගින් උන් වහන්සේව ලිබරල් සිවිල් සමාජයට ඇතුලත් කර ගන්නේද නැද්ද යන උභතෝකෝටික ප්‍රශ්නය මතු කිරීමෙන් ලිබරල් සිවිල් සමාජය අවුලෙන් අවුලට පත් කිරීම.

(9) ජාතික හෙළ උරුමය ඥානාන්විත ලෙස දේශපාලන උපාය උපක්‍රම තෝරන පක්ෂයක් යැයි යම් මිත්‍යාමතික අදහසක් කා තුළ හෝ මෙතෙක් කලක් පැවතියේ නම් එම මෝහන්ධකාරයෙන් ඔවුන්ව ගලවා ගැනීම.

(10) යළිත් වරක් වාර්ගික හෝ ආගමික ලේ වැගිරීමක් රට තුළ ඇති නොවිය යුතුය යන අධිශ්ටානය ඇති පිරිසට ඒ වෙනුවෙන් වැඩ කරන්නට උනන්දුවක් ඇති කිරීම.

(11) සියලු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා නායකත්වයන් ගැන කළකිරී සිටින ජනතාවට නව නායකත්වයක් සැපයීමට ආගමික නියෝජිතයන් පෙරට එමින් සිටියේ නම් ඒ ප්‍රවණතාව ඇස් පනාපිට ජෝක් කර දැමීම; එමගින් දේශපාලනය යළිත් ලෞකික ලෝකයට රැගෙන ඒම.

(12) දූරදර්ශීව දේශපාලන තීන්දු තීරණ ගත යුතු ජාතික අවදානම් සහගත අවස්ථාවකදී දේශපාලනය නොකළ යුත්තේ කෙසේදැයි තමන් වහන්සේවම නිදසුන් කොට දක්වමින් ලෝකයාට පෙන්වා දීම.

මේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කළ මහඟු ජාතික සේවාවන්ගෙන් බිඳක් පමණි. ඉදිරියේදී එතුමාණන් වහන්සේට කළ හැකි තවත් උදාරතම සේවයක් නම් විජාතික එජාපයට සහ ව්‍යාජ ජාතිකවාදී රාජ-පක්ෂයට එරෙහි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. එමගින් පිරිසිදු සිංහල-බෞද්ධ ජන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජය ගන්නා අයුරු ලෝකයා හමුවේ විදහාපාන්නට එතුමාණන් වහන්සේට හැකියාව ලැබෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න