මෛත්‍රී වෙනුවෙන් දප්පුල : පාර්ලිමේන්තුව සමඟ ගැටෙයිද ?

මෛත්‍රී වෙනුවෙන් දප්පුල : පාර්ලිමේන්තුව සමඟ ගැටෙයිද ?

පාස්කු ප්‍රහාරය (4-21) සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිදුකරනු ලබන දැනුම්දීම අනුව කැඳවීමට නියමිතව සිටින ආරක්ෂක අංශ ප්‍රධානින් හා බුද්ධි අංශ ප්‍රධානින්ට ඊට සහභාගී නොවන්නැයි උපදෙස් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ විශාරද නීතිවේදියකු අවධාරණය කරයි.

කෙසේ වුවත් දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත් ජනාධිපති සිරිසේන පසුගිය 07 වනදා පැවති විශේෂ කැබිනට් හමුවේදී අවධාරණය කර තිබිණ. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීමද එදින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදීද ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර හටගෙන ඇති මේ බරපතල අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එම තේරීම් කාරක සභාව හමුවට නොයන ලෙස නීතිපතිවරයා උපදෙස් නිකුත්කර තිබුණහොත් නීතිපතිට එරෙහිව ද කටයුතු කිරීමේ බලයක් පාර්ලිමේන්තුව සතුව ඇතැයි එම නීති විශාරදයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති ධුරය හා අගමැති ධුරය පක්ෂ දෙකක් අතර බෙදී පැවති 2000 -2002 වකවානුවේදී ද ආරක්ෂා අංශ ප්‍රධානින් මෙවැනි අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේදී එවකට ආරක්ෂක මණ්ඩල ප්‍රධානීයාව සිටි අද්මිරාල් දයා සඳගිරි ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෙන් උපදෙස් පතා තිබිණ බවත් එහිදී එවකට සිටි නීතිපතිවරයා එහිදී පවසා ඇත්තේ ආරක්ෂක අංශ සම්බන්ධ කාරනා වලදී හමුදා සේනාවිධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නියෝග අනුවට කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තුවට අදාල කටයුතු වලදී අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගමත කටයුතු කරන ලෙසත්ය.

ඒ අනුව කිසිඳු හේතුවක් මත අදාළ නිලධාරීන් පාර්ලිමේන්තුවට නොයැවීමට නීතිපතිවරයා උපදෙස් නිකුත් කළහොත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කිරීමට අදාළ බරපතල ප්‍රතිවිපාක වලට මුහුණදීමට අනිවාර්යයෙන් සිදුවන බවත් ඔහු සඳහන් කර සිටියි.

රස්සාව බේරගන්න වෙයි !

මේ අතර පාස්කු ප්‍රහාරය (4-21) සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිදුකරනු ලබන කැඳවීමක් ප්‍රතික්ෂේප කරන ඕනෑම රාජ්‍ය සේවකයකුගේ රැකියාව අහිමිවීමේ සහ අධිකරණ ක්‍රියාවලියකට ලක්වීමේ අවධානමක් තිබෙන බවත් එම නීති විශාරදයා පවසයි.

 ඔහු පෙන්වා දෙන්නේ එවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුවට ඇති බවය.

මේ සම්බන්ධව කතානායක කාර්යාලය විසින් නිකුත්කළ විශේෂ නිවේදනයේ ද සඳහන්කර තිබිණ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න