Language Switcher

V2025

දේශප්‍රේමය රණවිරුවන් විකුණගෙන නොකා : කළ සේවය මංගල පෙන්වයි !

දේශප්‍රේමය ගැන කෑමොර දෙන රණවිරුවන්ගේ කරමතින් දේශපාලනය කරන්න හදන අයට අවුරුදු 20 ක් තිස්සේ කරන්න බැරිවුණ දෙයක් තම ආණ්ඩුවෙන් සිදුකල බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඒ යටතේ නිලඇඳුම් අඳින වෘත්තීය හමුදා නිලධාරීන්ට නිසි ගෞරවය ලබාදෙමින් 2019 ජනවාරි මාසයේ ඉඳලා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සලාක දීමනාව රු. 23,231/- දක්වාත් සෙසු නිල දීමනාව රු. 19,350/- ක් දක්වාත් වැඩි කළා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල් කුලී දීමනාව දෙගුණ කළ බවත් ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්ය. එහිදී අමාත්‍යවරයා සිදුකල සම්පුර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි.

රක්ෂණ - සුරාබදු පනතට වෙනස්කම් !

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නිකුත් කළ නියෝග සහ සුරාබදු ආඥා පනතට අදාළව හඳුන්වා දුන් වෙනස්කම් පිළිබඳව අද දින මේ සභාවේ විවාදයට ගැණෙන අවස්ථාවේ දී රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව වචන කීපයක් සඳහන් කිරීමට මා කැමතියි.

විවිධ අභියෝග දුෂ්කරතා පසුබෑම් මැද්දේ උනත් අපි රටක් විදියට සාර්ථක දිගුකාලීන සංවර්ධන මාවතකට යොමු වී සිටින බව නැවතත් මා මේ ගරු සභාවට මතක් කරන්න කැමතියි. ඉච්ඡාභංගත්වයට පත්වුණු සමහර දේශපාලන අනාථයන් ද්වේශයෙන් අපට අවලාද නැගුවත් පහුගිය අවුරුදු කීපයේ රට තුළ ස්ථාවර ආර්ථික පදනමක් ඇතිකර ගැනීමට අපට හැකිවෙලා තියෙනවා.

මහ ජනතාව බලගන්වන ආර්ථික වැඩපිළිවෙල !

ඒකට හේතුව තමයි පුද්ගලික ප්‍රතිලාභ, වාසි, න්‍යාය පත්‍ර, අක්‍රමිකතා නැතිව රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මහජනතාව බලගන්වමින් ගෙනියන සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් අපි සාර්ථකව දියත් කිරීම. අද වෙන කොට විශාල ත්‍රස්ථවාදී ප්‍රශ්නයකින් පස්සේ වුවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය නොසැලී පවත්වා ගනිමින් උද්ධමනය, විරැකියාව පාලනය කරමින් ඒකපුද්ගල ආදායමත්, දළ දේශීය නිෂ්පාදනයත් ඉහළ මට්ටමක තබාගැනීමට අපිට පුළුවන් වෙලා තියෙනවා.

මගේ වචනවලින් කියනවට වැඩිය අපි රටේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ස්ථාවරත්වය ගැන අවධානය යොමු කළොත් ලෝකයේ තිබෙන බලවත් ඒ වගේම විශිෂ්ට වෘත්තීයමය ජාත්‍යන්තර ආයතන මේ රට ගැන ධනාත්මක නිගමනවලට එළැඹිලා තියෙනවා. ඒකනිසාම තමයි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), එක්සත් ජනපද විදේශාධාර සංවිධානය (USAID) වැනි ආයතන අපිට දිගින් දිගටම සංවර්ධන ආධාර ලබාදෙන්නේ.

ආර්ථිකයට ලැබුණ පහසුකම් !

මං ඒ ගැන යම් සඳහනක් කළොත් පහුගිය මාස කීපය තුළ අපිට ඩොලර් මිලියන 1,200 කට වැඩිය ජාත්‍යන්තර ආධාර හිමිවුණා. සති කීපයකට කලින් ලෝක බැංකුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 70 ණය ආධාර ලබාදුන්නා. මීට අමතරව ඩොලර් මිලියන 152 ක් සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ලබාදුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි මාසයේ ඩොලර් මිලියන 164කුත්, එක්සත් ජනපදය මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් එක යටතේ ඩොලර් මිලියන 480 කුත්, මේ පහුගිය සතියේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය වෙනුවෙන් ඩොලර් මිලියන 50 කුත්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) කොළඹ නාගරික පුනර්ජනනීය කටයුතු සහ නායයාම් වැළැක්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 280 කුත් අනුමත කළා. මීට අමතරව AIIB ආයතනය සමග අපි බලශක්ති හා මහාමාර්ග අංශ සඳහා අතිරේක ඩොලර් මිලියන 1000 ට ආසන්න සංවර්ධන ආධාර සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා.

මේ සියලු ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර හිමිවෙන්නේ පුද්ගලික මිත්‍රකම් නිසා නෙමෙයි, අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ගැන තියෙන පැහැදීම නිසයි. මොකද මේ වෙනකොට ලෝකයම පිළිඅරන් තියෙනවා හුදු ආර්ථික වර්ධන දත්ත මත විතරක් පදනම්වෙලා රටක සංවර්ධනය අත්කර ගන්න බැරි බව. ව්‍යවසායකයන් බිහිකිරීමත්, ජනතාව බලගැන්වීමත්, අපනයන කර්මාන්ත දිරිගැන්වීමත්, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සුබසාධන කටයුතු ශක්තිමත් කරගැනීමත්, යටිතල පහසුකම් දියුණු කිරීමත් වැනි මානව සංවර්ධන මූලධර්ම පදනම් කරගත් සංවර්ධන මාවතක් හරහා තමයි රටවල් දියුණුව අත්කර ගන්නෙ.

ගම්පෙරළියේ පෙරළිය !

අපේ රජය යටතේ අපි සැබෑ සංවර්ධනය ගමට ගෙන ගියා. අද වෙනකොට ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් මිලියන 48,000 ක සංවර්ධන ව්‍යාපෘති රටපුරා කෙරෙමින් පවතිනවා. රටම වැඩබිමක් වෙලා. ගමේ සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ගමේ සමිති සමාගම්වලට තමන්ගෙ ප්‍රදේශ සංවර්ධනය කරන ගමන් ආදායමක් උපයා ගැනීමටත්, තමන්ගේ සංවර්ධනය තමන්ටම කරගැනීමටත් අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ අවුරුද්දේ විතරක් ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘති 98,600 ක් පමණ මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒ විතරක් නෙමෙයි ඉතා ඉක්මණින් අපි එක් ආසනයකට ලබා දුන් ගම්පෙරළිය සංවර්ධන ප්‍රතිපාදන මිලියන 300 ට අමතරව තවත් අතිරේක ප්‍රතිපාදන මිලියන 100 ක් ඊළඟ අදියර සඳහා ලබාදෙනවා. ඒ මුදලින් එක් ආසනයක විහාර ධර්මශාලා 05ක් බැගින් රටපුරා විහාරස්ථාන 800 කට රුපියල් මිලියන 8,000/-ක ආධාර ලබාදෙනවා.

විශේෂයෙන්ම රට තුළ බෞද්ධ වේවා, කිතුණු, ඉස්ලාම් හෝ හින්දු ආගමික මූලධර්මවාදී අදහස් පැතිරීම වැළැක්වීමටත් වෛරය, ක්‍රෝධය වපුරන සියලු ආගමික මතවාද තුරන් කිරීමටත්, විහාරස්ථාන ඇතුළු සියලු ආගමික මධ්‍යස්ථාන දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. අපේ තරුණ පරපුර ආගම මත පදනම්වෙලා එකිනෙකා ඇණකොටා නොගන්නා තත්ත්වයට මේ රට පත්කිරීම අපේ අරමුණයි.

ගරු කථානායකතුමනි, මෙයාකාරයෙන් රටේ සියළු සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරන අතරේ අපි කිසිම වෙලාවක රජයේ සේවකයන්ව අමතක කළේ නෑ.

මේ මාසේ අවසානයේ ඉඳලා සියලුම රජයේ සේවකයන්ට දැනට ලැබෙන රුපියල් 7,800/- ක ජීවන වියදම් දීමනාවට අමතරව අළුතින් රු. 2,500/- ක අන්තර් දීමනාවක් ලබාදෙනවා.

රාජ්‍ය සේවක වැටුප් ගැන !

අපි 2015 බලයට එද්දි රාජ්‍ය සේවක වැටුප් තිබුණු තත්ත්වය මං මතක් කළොත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපේ රජය යටතේ 2020 වෙනකොට ඔවුන්ගේ වැටුප් තලයන් වැඩිවීමත් මං කියන්නම්:

waguwa 1

 මේ සියලු දෙනාගේ මාසික වැටුප අවුරුදු 5ක් ඇතුළත අපේ රජය දෙගුණයකට වඩා වැඩිකරලා තියෙනවා. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙපමණ රජයේ සේවක වැටුප් වැඩිකිරීමක් කරලා නැහැ.

ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අපි අවුරුදු ගාණක් තමන්ගෙ දුක්ගැනවිලි විඳදරා ගත්ත විශ්‍රාමික ප්‍රජාවගේත් දීමනා වැඩි කළා. 2015 දෙසැම්බර් මාසෙට කලින් විශ්‍රාම ගත්ත රජයේ සේවකයන් ලක්ෂ පහ මාරකට වැඩි සංඛ්‍යාවකට මේ මාසෙ අග වෙනකොට සැලකිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමක් ලබාදෙනවා. මා ඒ පිළිබඳව විස්තර කීපයක් ඉදිරිපත් කරන්නම්.

විශ්‍රාම වැටුපෙ වෙනස්කම !

waguwa 2

 

මීට අමතරව ගරු කථානායකතුමනි, 2015 න් පසු විශ්‍රාම ගත් සියලුදෙනාට දැනට ගෙවන ජීවන වියදම් දීමනාවට අමතරව ගෙවන රුපියල් 3,525/- ක දීමනාවට අමතරව නව අන්තර් දීමනාවක් ලෙස රුපියල් 3,500/- ක් ලබාදෙනවා.

 ගරු කථානායකතුමනි, දේශප්‍රේමය ගැන කෑමොර දෙන රණවිරුවන්ගේ කරමතින් දේශපාලනය කරන්න හදන අයට අවුරුදු 20 ක් තිස්සේ කරන්න බැරිවුණ දෙයක් අපි දැන් සිදු කළා. ඒ නිලඇඳුම් අඳින වෘත්තීය හමුදා නිලධාරීන්ට නිසි ගෞරවය ලබාදෙමින් 2019 ජනවාරි මාසයේ ඉඳලා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සලාක දීමනාව රු. 23,231/- දක්වාත් සෙසු නිල දීමනාව රු. 19,350/- ක් දක්වාත් වැඩි කළා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල් කුලී දීමනාව දෙගුණ කළා.

හමුදාවට දීමනා !

ත්‍රිවිධ හමුදා කමාන්ඩෝ දීමනාව රු. 1000/- සිට රු. 5000/- දක්වා වැඩිකළා. මේ මාසෙ අග ඉඳලා හමුදාවල යහපත් හැසිරීමේ දීමනා (Good Conduct Allowance) වගේම නිල ඇඳුම් දීමනාත් වැඩි කළා. අපි ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෘත්තීය සේවාවන් ලෙස සලකලා කටයුතු කරනවා. ඔවුන් දේශපාලන වාසි සඳහා බොරු මවාපෑම් කරන්නේ නෑ.

ගරු කථානායකතුමනි, මෙයාකාරයෙන් රාජ්‍ය සේවයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩිකරන අතරේ කිසිවිටක සමාජයේ අනෙකුත් අයව අමතක කළේ නැහැ. කිසිකෙනෙකුගේ අවධානය නොලැබෙන මානුෂික සැලකිල්ල යොමු වියයුතු පිරිස් ගැනත් අයවැය අවස්ථාවේ දී අපි හිතුවා.

රජයේ ලියාපදිංචි විශේෂ හැකියාවන් තියෙන (Differently Abled) පුද්ගලයින් 32,000 ක් දැනට ඉන්නවා. ඔවුන් එක් අයෙකුට රජයෙන් මාසෙකට රුපියල් 3,000/- ක මාසික දීමනාවක් ගෙවනවා. අපි මේ මාසෙ අවසානයේ ඉඳන් ඔවුන්ගේ දීමනාව රු. 5000/- ක් දක්වා වැඩි කළා. ඒ වගේම ප්‍රතිලාභ ලැබෙන පිරිස 32,000 ඉඳලා 72,000 ක් දක්වා ඉහළ දැම්මා. මෙතුළින් අතිරේක පුද්ගලයින් 40,000 ක් අළුතින් ප්‍රතිලාභ ලැබෙන අය බවට පත්වුණා.

සමෘද්ධි දීමනාව !

දේශපාලන අතකොළු බවට පත්ව සිටි සමෘද්ධි ප්‍රතිලාභී ජනතාව වෙත අපි ඉතිහාසයේ පළමු වතාවට ඔවුන්ගේ බැංකු අනිවාර්ය ඉතිරි කිරීම්වලින් රු. 15,000/- ක මුදලක් අප්‍රේල් මාසයේ ලබා දුන්නා. ඒ වගේම මේ වෙනකොට දේශපාලනය නිසා කොන් කර තිබූ ලක්ෂ හයක ජනතාවක් වෙත අළුතින් සමෘද්ධි ප්‍රතිලාභී ලබාදීම පටන්ගත්තා.

මීට අමතරව ගරු කථානායකතුමනි, අපේ රජය නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන රු. 5000/- ක මුදල රෝගීන් 21,000 සිට 26,000 ක ප්‍රමාණයට වැඩි කරමින් පොරොත්තු ලේඛනය අහෝසි කළා.

මා සරලව ඉහතින් දැක්වූයේ රජයක් ලෙස මහජනතාව වෙනුවෙනුත්, රටේ සංවර්ධනය වෙනුවෙනුත් සිදු කළ මහා වැඩපිළිවෙළක සුළු ප්‍රමාණයක් පමණයි. අපි පහුගිය කාලය තුළ ලබාගත් ජයග්‍රහණ ප්‍රමාණාත්මකව පමණක් නෙමෙයි ගුණාත්මක වශයෙන් ඉතා වැඩි බව කියන්න කැමැතියි.

මා මීට වැඩිය කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අපි රටක් විදියට ඉතා ස්ථාවර, ක්‍රමවත්, ආර්ථික වර්ධන පදනමක් ලබා ඇති බවත්, එතුළින් ඉදිරි සංවර්ධනය ගොඩනැගීම වැදගත් බවත් සඳහන් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.