Language Switcher

V2025

ගෝඨාගේ නඩු විභාගය තවත් කල් යයි !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය ජුලි මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(19) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ මේ නියෝගය නිකුත්කර ඇත.

එම අවස්ථාවේ නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඉකුත් මැයි මස 31 වනදා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජන වී ඇති අතර ඔහු පසුගිය 09 වනදා රෝහලෙන් මුදාහැර ඇති බවය.

එතැන් පටන් සති 06 ක් කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාවලියක තම සේවාදායකයාට නිරත වීමට සිදුවී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ශබ්රි මහතා ඔහු ලබන මස 22 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

මෙම නඩු විභාගය ආරම්භ කිරීම සඳහා තම සේවාදායකයා අධිකරණය හමුවේ පෙනී සිටීම සාධාරණ නඩු විභාගයකට බෙහෙවින් වැදගත් වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එමනිසා ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව එම නඩුවේ විභාගය ආරම්භ කර ලෙසද ඉල්ලා සිටියේය.

මේ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ද ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ ගෙනහැර දක්වාලු අතර ඒ සම්බන්ධව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥ වසන්ත පෙරේරා විරෝධය පළ කළේද නැති බවත් වාර්තා වෙයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය ජූලි මස 26 වනදා දක්වා කල් දැමූ අතර එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කරන්නටද කටයුතු කර ඇත.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කළ තවත් ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට ලබාදී තිබූ අවසරය ජූලි මස 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ද නියෝග කර තිබේ.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී .ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රජයට රුපියල් මිලියන තිස් 33.9 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.