හානි පූර්ණ කාර්‍යාලයේ වැඩ මෙන්න : පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන් සුරක්ෂිතයි !

හානි පූර්ණ කාර්‍යාලයේ වැඩ මෙන්න : පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ දරුවන් සුරක්ෂිතයි !

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක් වශයෙන් භාරකාර අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව රජය නිවේදනය කරයි.

ඊට අනූව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් වෙන් කොට ඇත. එසේම, මෙම අරමුදල සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් බාහිර ප්‍රදාන මගින් ලබා ගැනීමට අපේක්ෂිතය.

මෙයට අමතරව හානි පූර්ණ කාර්යාලය හරහා ද මෙම ළමුන්ට අවශ්‍යතාවය පරිදි ආධාර සලසනු ඇත.

දැනට රෝහල්ගත වී සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් ඔවුන්ට විදෙස් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සකසා තිබේ.

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

මේ වන විට මියගිය පුද්ගලයින් 189 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 185 ක වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයින් 403 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 53 කට අධික වන්දි මුදලකුත් ගෙවා අවසන් කොට තිබෙන බවද නිවේදනය කර සිටියි.

මීට අමතරව, බෝම්බ ප්‍රහාර හේතුවෙන් හානියට පත් වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව ශාන්ත සියෝන් දේවස්ථානය හා කොළඹකොච්චිකඩේ ශාන්ත ඇන්තනීස් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කරමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට නිදහස් කර ඇත.

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව මිනුවන්ගොඩ, කුලියාපිටිය, හෙට්ටිපොල වැනි ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් හානියට පත් දේපල වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කොට ඇත. සම්පූර්ණ හානිපූර්ණ වන්දිය ගෙවන තෙක් බොහෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස අත්තිකාරම් මුදලක් ගෙවීමට හානි පූර්ණ කාර්යාලයට උපදෙස් දී ඇත.

වන්දි ගෙවීම පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව 0112-575803/0112-575813/ 0112-575826 යන දුරකථන අංක ඔස්සේ හෝ 0112- 575815 යන ෆැක්ස් අංකය ඔස්සේ හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල වෙතින් විමසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න