ක්ෂේත්‍ර 14ක ජපන් රැකියාවලට අයදුම් කරන හැටි මනුෂ කියයි !

ක්ෂේත්‍ර 14ක ජපන් රැකියාවලට අයදුම් කරන හැටි මනුෂ කියයි !

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතනවලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නොමැති බවත් එබැවින් වංචනිකයන්ට හසු නොවන ලෙස ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ ය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මීට අදාළ වීසා බලපත්‍රය වසර 10ක කාලසීමාවක් සදහා ලබාදෙන බවයි.

වෘත්තීය ක්ෂේත්‍ර 14ක රැකියා සදහා වසර 10ක කාලයකට ජපන් රජය සමග එළඹි ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා සදහන් කලේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“මේ යටතේ රැකියා ක්ෂේත්‍ර 14ක් සදහා අපිට ශ්‍රමිකයන් යවන්න පුළුවන්. නැව් ඉදිකිරීම් හා නැව් යන්ත්‍ර උපකරණ ක්ෂේත්‍රය, ගුවන්සේවා කර්මාන්තය, විද්‍යුත් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණික, ආහාර පාන නිෂ්පාදනය, ධීවර හා ජලජීවි වගා, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, කාර්මික යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර කොටස් එකලස්කිරීම, සාත්තුසේවා, ගොඩනැගිලි පිරිසිදුකිරීම හා කළමණාකරණය, රථවාහන නඩත්තුසේවා, නවාතැන්සේවා හා ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර 14 ඔස්සේ ශ්‍රමිකයන් යවන්න පුළුවන්. මේවා ජපානයේ අමාත්‍යංශ ගණනාවකට බෙදිලා යනවා. මේ සියල්ල පිළිබද එකවර තොරතුරු ලබාදෙන්න ජපානයේ කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ.

ජපාන රජයත් සමග අප ගිවිසුම් ගතවනවාත් සමග එරට අනෙකුත් අමාත්‍යංශ වලට අදාළ රැකියා වලට අවශ්‍ය සුදුසුකම් ඇතුළු කරුණු ගැන ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා දැනටමත් සාකච්ජා පවත්වනවා. එක් එක් විෂය ක්ෂේත්‍රයට අවශ්‍ය සුදුසුකම් අපිට වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්න වෙනවා. තවම ඒවා තීන්දු කරලා දෙරට අතර එකගතාවයකට අප පැමිණ නැහැ. වයස් සීමාව ජපනයේ වයස් සීමාව බවට පත්වෙයි.

මේ ක්ෂේත්‍ර 14ට යන්න ඊට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුතුව තරුණ තරුණියන් අප හදාගත යුතුයි. ඒ වගේම ඒ ඒ ක්ෂේත්‍රයට අවශ්‍ය වන ප්‍රමාණයට මේ සියලු දෙනාම ජපන් භාෂාව පිළිබද ප්‍රවීණතාවය ලබාගැනීමට අවශ්‍ය වෙනවා. මේ මට්ටම් වලට අප සකස් විය යුතුයි. නිකම්ම අපිට ජපානයට යන්න බැහැ. ඒ නිසා මේ සදහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලැබීම ඉතාම අත්‍යවශ්‍යයි. පන්නිපිටියේ හා අපේ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන වලට ඉතාම සහනදායි මුදලට පාඨමාලාවන් හැදැරීමේ හැකියාව තියෙනවා.

ඒවගේම කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් කිසිවක් බාරදී නැහැ. ඒ නිසා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ සම්බන්ධයෙන් අයදුම්පත් හෝ මුදල් ලබාදී වැඩක් නැහැ. කිසිදු නියෝජිතායතනයක් හෝ තැරව්කරුවෙකු මේ සදහා තෝරාගෙන නැහැ. මීට අදාල පසුබිම් වැඩ කටයුතු සිදුකරගන්න අපිට තව ටික කාලයක් අවශ්‍ය වෙනවා.

පසුව අපි ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය පිලිබද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිදු ලෙස අනවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවන වංචා වලට හසු නොවන ලෙස ද ඉල්ලා සිටිනවා. කිසිදු වෘත්තීය සුදුසුකමක් හෝ ජපන් භාෂාව නොමැතිව මේ සදහා අයදුම් කරන්න බැහැ. ඒ නිසා මේ කාලය තුළ ඉවසිමෙන් යුතුව සුදුසුකම් හදාගන්න.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න