උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් ගෙන ලබාදීම ඇතුළු ඉල්ලීම් 11කට බලකරන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂයේ සම්මේලනය අද (30) පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වාසනීය අර්ථවත් විසදුම් තෙමසක කාලයක් තුළ නොදෙන්නේ නම් ප්රජාතන්ත්රවාදී ජනතා අරගලයක් රජයට එරෙහිව දියත් කිරීමටද ඉලංගයි තමිල් අරසු පක්ෂය විසින් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.
දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය හා ජාතික අනන්‍යතාවය නැතිකරන ආකාරයෙන් සිදුවන සියලු ක්‍රියාවන් වහාම නතර කළ යුතු බවටත් නැවත පදිංචි කළහැකි දෙමළ හා මුස්ලිම් ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත් කළයුතු බවටත්,යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සහ එම ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිපාදන සැලසීම සහ යාපන සරසවියේ වෛද්‍ය පීඨයේ අටමහල් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකර දීමට පියවර ගත යුතු බවටද මෙහිදී බලකෙරණි.
අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද වග රජය විසින් නිශ්චිතව අනාවරණය කරගනිමින් එහි වගවීම රජය විසින් බාරගත යුතු බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවටත්, උතුරේ විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතු බවටත් රජයට බලකර සිටිති.
මීට අමතරව උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව සාගර සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,මහවැලි සංවර්ධන අධිකාරිය ජනතාව පදිංචි කරන පදිංචිව සිටින ප්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික ඉඩම්වල ප්‍රතිසංස්කරණය කිරීම නවතා දැමිය යුකු බවටද බලකර සිටිති. දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල දේවාල හින්දු සංස්කෘතික පාරම්පරික ස්ථාන හින්දු පුණ්‍යභූමි මත අත්පත් කරගනිමින් බෞද්ධ විහාර සහ බුද්ධ පිළිම ඉදිකිරීමේ උත්සහාය වහා නවතා දැමිය යුතු බවටත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණ හා එක්ව මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ගෙන යන උත්සහාය නවතාගත යුතු බවටත් බලකරති.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් 30/1 34/1 සහ 40/1 යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකර සිටිති. මෙකී ඉල්ලීම් 11 සදහා විශ්වාසනීයත්වයක් යොමුකරමින් අර්ථවත්ව කටයුතු කළයුතු බවත් මේ සදහා රජයට තෙමසක කාලයක් ලබාදීමටත් එකී කාල පරාසය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පෙළගැසී රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවත් ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය අවධාරණය කර සිටියි.