මරණ දඬුවමට සහය දෙන්නේ නෑ : රනිල් සෘජුවම කියයි !

මරණ දඬුවමට සහය දෙන්නේ නෑ : රනිල් සෘජුවම කියයි !

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

එහෙයින් මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපතිතුමා සහ කථානයකතුමා සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (30) වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භුමියේ පැවැති ජනහමුව අමතමිනි.

මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ මොණරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය විවෘත කිරීම, තණමල්විල ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කෙරුණු අතර, දැලිව කොස්ගස් අරාව වැවේ සංචාරය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්‍ෂණය කරන ලදී.

මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2016 වසරේ එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සහය ලබාදුන් බවද ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් ද, තමා අගමැති වශයෙන් ද තනතුරු දැරූ බවත් කීය.

2018 වසරේ දෙසැම්බර් 17 වනදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඊට සහය දුන් අතර, එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර ද, මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුර දැරූ බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත්, ඉන්පසු ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ සංවර්ධනයක් මොණරාගල දිස්ත්‍රික්කයේ වත්මන් ආණ්ඩුව සිදු කර තිබෙන බව පැවසූ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර එම සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාවට දැන් ලැබෙමින් පවතින බව පෙන්වාදුන්නේය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති 20,000 කට පමණ පසුගිය වසර 4 තුළ ඉඩම් ඔප්පු ලබාදී තිබෙන බවත්, ඒ සියල්ලටම ඉදිරියේදී සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

ජනතාව රැවටූ යුගය අවසන් කර රටේ සමස්ථ ජනතාවට ප්‍රතිඵල ලැබෙන ආකාරයේ සැබෑ සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන බවත් මේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කර ගත හැකි බවත්, එම අවස්ථාවට එක්වෙමින් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන පැවසීය.

වත්මන් ආණ්ඩුව 2015 දී මේ රට භාර ගන්නා අවස්ථාව වන විට මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයෙන්ම කොන් වූ රටක් බවට පත්ව තිබුණු බවත් ඒ රට එම තත්ත්වයෙන් මුදවාගෙන මහා ණය කන්දක් ගෙවා දමමින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කර දෙමින් සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙයවූ බවත් රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර, එහි මන්ත්‍රීවරුන් වන සම්පත් ජයසූරිය, හරේන්ද්‍ර බණ්ඩාර ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

04 5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න