යුරෝපා ප්‍රජාව සහ ශ්‍රී ලංකාව අතර වාර්ෂිකව සිදුකෙරෙන රුපියල් බිලියන 525කට අධික ගනුදෙනු අඩාල වී විශාල ආර්ථිකමය අර්බුදයක් නිර්මාණය වන අවධානමක් මතුව ඇති බව ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයද අඩාල වී තිබියදී ජී.එස්.පී. ප්ලස් බදු සහනයද අහෝසි වුවහොත් මේ රට තුළ විශාල විදේශ විනිමය හිඟයක් ඇතිවී ආර්ථිකමය අර්බුදයක් හට ගැනීම ස්ථිර බවත් එය ලංකා ආර්ථිකයේ පැහැදිළි බිඳ වැටීමක් සටහන් කරනු ඇති අතර එය දිග්ගැස්සෙන ආර්ථික අවපාතයක් බවට පත්වීමත් වලක්වා ගත නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
ආර්ථික විශ්ලේෂකයන් මේ අනතුරු ඇඟවීම සිදුකර සිටින්නේ මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් යුරෝපා ප්‍රජාවේ රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. බදු සහනය අහෝසි කරන බව පසුගියදා රජයට දැනුම් දීමේ නිවේදන පදනම් කරගෙනය.
ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිවේදනය කළ පසු යුරෝපා ප්‍රජාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් ගණනාවක් එයට දැඩි විරෝධය පළකරමින් නිවේදන නිකුත් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ද ජනාධිපතිවරයාගෙන් මේ ගැන කරුණු විමසා තිබිණි.
එහෙත් ඉතා ඉක්මණින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති සිරිසේන දැඩි ස්ථාවරයක පසුවෙයි.
දැනට ජී.එස්.පී. බදු සහනය යටතේ යුරෝපා ප්‍රජාවේ රටවල් ශ්‍රී ලංකාවෙන් ඇඟලුම්, මාළු, මල් වර්ග ඇතුළු භාණ්ඩ රැසක් වාර්ෂිකව මිලදී ගනී. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන සිය ජනප්‍රියතාව ඉලක්ක කරගෙන පටු දේශපාලන වාසියක් අත්පත්කර ගැනීම හමුවේ යුරෝපා ප්‍රජාවේ තීරණය අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කළහොත් යුරෝපා ප්‍රජාවේ රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ඇඟලුම්, මාළු, මල් වර්ග ඇතුළු භාණ්ඩ රැසක් ආශ්‍රිත කර්මාන්ත වෙත දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවය.

