මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති සිරිසේන පැවැසීය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්තියට එක්වෙමින් ජනාධිපති මේ බව සදහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.
“දැන් දවස් තුනකට කලින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා දින තුනකට කලින් මට කථා කළා. මගෙන් ඇහුවා මරණීය දණ්ඩනය දෙනවද කියලා. මම මහලේකම්තුමාට කරුණු පැහැදිලි කළා. මේක ලොකු ප්‍රශ්නයක් මට රට විනාශ වෙනකම් බලාගෙන ඉන්න බෑ ඒක නිසා මම මේක ක්‍රියාත්මක කරනවා කියලා.
යුරෝපීය යූනියන් එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් ජී.එස්.පී. බදු සහනය දෙන්නේ නෑ කියලා. ඒක තර්ජනයක්. ස්වාධීන රටකට තර්ජනය හොඳ නෑ.
මම දැක්කා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියලා තිබෙනවා ඒ අයගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙමෙයි කියලා. පක්ෂයේ ප්‍රතිපත්ති ඒ විදිහටම ක්‍රියාත්මක කළා නම් මේ අවුරුදු හතර හමාරේ රට කොච්චර හොඳද?
විපක්ෂයෙන් කියලා තිබෙනවා මරණීය දණ්ඩනයට විරුද්ධයි මේක කරන්න එපා කියලා. මරණීය දණ්ඩනයට විරුද්ධව කථා කරන අය මත්ද්‍රව්‍ය නැති කරන්න මර්දනය කරන්න දීලා තියෙන උදව්ව මොකක්ද?”

