කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයන්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට පහර ගසමින් සිය ළිංමැඩි මානසිකත්වය හා අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත xක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
විසි එක්වැනි සියවසට අදාළ අධ්‍යාපන නිපාර්ශවය සාක්ෂාත් කර ගැනීමට හා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට අතිශයින් වැදගත්වන ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය විවිධ අසාධාරණ විවේචන මගින් කඩා කප්පල් කිරීමට ගෙනගිය කුහක ක්‍රියාමාර්ග හේතුවෙන් එය මෙතෙක් ප්‍රමාද වූ බව පවසන අමාත්‍යවරයා, ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා අමාත්‍ය මණ්ඩලය ටැබ් පරිගණක දියයුතු බවට ඉකුත් 25 වැනිදා ඓතිහාසික තීන්දුවකට එළැඹිම අධ්‍යාපන ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කරයි.
එම ජයග්‍රහණය ඉවසනු බැරි වුවෝ දැන් විවිධ චෝදනා නඟමින් සිය කුහක මානසිකත්වය පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යම් සාධනීය පියවරක් ගත්තේ නම් විපක්ෂය නියෝජනය කරමින් සිටිය දී පවා ඒ හැම අවස්ථාවකදීම කුහකත්වයෙන් තොරව සහයෝගය පළ කරමින් අගය කළ බව මේ විවේචකයන්ට අමතක වීම ගැන තමා කනගාටුවන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
පුද්ගලනාම ප්‍රවර්ධනය කිරීමේ මානසිකත්වයෙන් ජාතික ධනය රුපියල් කෝටි ගණන් වැය කරමින් මහපාරට පෙනෙන්නට විද්‍යාගාර ගොඩනැගිලි තැනීම, ඒවා තනා නිම කිරීමට පෙර තවත් විශාල මුදලක් වැයකරමින් උපකරණ මිලදී ගැනීම හා ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නගත පරිගණක යන්ත්‍ර රුපියල් කෝටිගණන් වියදම් කර මිලට ගැනීම, දේශපාලන උපක්‍රම වශයෙන් විද්‍යාගාර හා ගොඩනැගිලි විවෘත කිරීම වැනි කටයුතු කළත් පසුගිය රජයේ බලධාරීන් පාසල් දරුවන්ගේ මූලික අවශ්‍යතා හිතා මතා අමතක කළ බවත් එසේ අමතක වූ පාසල් වැසිකිළි-කැසිකිළි හා ජල පහසුකම් ලබා දෙන්නේ වත්මන් රජය බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
මෙවැනි ජයග්‍රහණ ඉවසනු බැරිවූවන් විවිධ ප්‍රකාශ කරමින් සිය පහත් මානසිකත්වය හා කුහකත්වය ප්‍රදර්ශණය කරන බව ද අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල මේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජනාධිපති සිරිසේන වෙත බවය.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ ටැබ් පරිගණක බෙදීම සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එය නියමු ව්‍යාපෘතියක් බව අවතක්සේරුවට ලක්කර නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
ආණ්ඩුවේ ටැබ් පරිගණක ව්‍යාපෘතිය ජනාධිපති බාල්දු කරයි !
ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකයේ නිවේදනය පහත දැක්වෙයි.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිතුමා පවසයි.
දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය. එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද මෙකී යෝජනාවට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ නිර්දේශය වූයේ දීප ව්‍යාප්තව එකවර මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම නුසුදුසු බවත්, එය ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථමයෙන් ආරම්භ කළ යුතු බවත් ය.
විශේෂයෙන්ම අත්‍යවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබිණි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වූයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි.
දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා රුපියල් බිලියන පහමාරක මුදලක් වෙන් කර තිබිණි. එහි දී ජනාධිපතිතුමාගේ යෝජනාව වූයේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබාගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබාගැනීමට යොදවන ලෙසයි. එමෙන්ම මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස්විය යුතුය.
පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වුව ද දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ.

