රාජපක්ෂ පවුලේ නඩු නැවත ගොඩගනියි : නොසිතු පෙරළියක් අත ළඟ !

රාජපක්ෂ පවුලේ නඩු නැවත ගොඩගනියි : නොසිතු පෙරළියක් අත ළඟ !

එළඹෙන ජනාධිපතිවරණයට පෙර තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීම සඳහා ජනාධිපති සිරිසේන පාර්ශවය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයට අදාළ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන නඩු වල ප්‍රගති සමාලෝචනයක් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට හිතවත් නීතිවේදීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවන බවත් එය ඉදිරි දේශපාලන පෙරළියක සංඥාවක් විය හැකි බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පවුලේ නඩු සමඟ ශිරන්තිගේ චෝදනා පත්‍ර ගැනත් අවධානය !

එසේම මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඇති සිරිලිය ගිණුම සම්බන්ධ චෝදනා ඇතුළත් ලියවිලි කිහිපයක්ද මෙම නීතිඥ කණ්ඩායම අධ්‍යයනය කර ඇති බවත් දැනගන්නට තිබේ.

මේ සම්බන්ධව වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ "රාජපක්ෂ පවුලේ නඩු" සහ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයේ අපේක්ෂකත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ජනාධිපති සිරිසේනට ඇති බවත් ඒ සඳහා උපක්‍රමයක් ලෙස මේ රාජපක්ෂ පවුලේ නඩු වාර්තා සමාලෝචනය සහ චෝදනා ලිපිගොනු අධ්‍යයනය අතර සම්බන්ධතාවයක් පවතින බවයි.

ශ්‍රීලන්කන් එයාර් - මිහින් ලංකා දුෂණ සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාවත් ජනාධිපති අතේ !

එසේම ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති සිරිසේන වෙත පිළිගන්වා ඇත.
කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ සෙසු සාමාජිකයෝ ද මීට එක්ව සිටියහ.

2006 වසරේ ජනවාරි මස 01 වැනි දා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා වූ මෙම කොමිසම 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින ජනාධිපතිවරයා විසින් පත්කර තිබිණ.

රාජපක්ෂ පවුලට සෘජු චෝදනා !

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ කොමිෂන් වාර්තාවද රාජපක්ෂ පවුල වෙත දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවය. විශේෂයෙන් හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමින් රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන තිබීම, “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී තිබීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැර තිබීම සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇති අතර ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ඇයට ගෙවා තිබීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධව නිර්දේශ එහි ඇතුළත්ව තිබිය හැකි බවත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

මහින්දගේ අපේක්ෂාව !

මේ කරුණු සැළකිල්ලට ගැනීමේදී සහ මහින්ද රාජපක්ෂගේ ඊළඟ දේශපාලන අපේක්ෂාව මත ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයක් බිහිවීමේ සම්භාවිතාව ප්‍රතික්ෂේප කළ නොහැකි බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඊට අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ඊළඟ දේශපාලන අපේක්ෂාව වී ඇත්තේ ලංකාවේ ළාබාලතම ජනාධිපති ලෙස සිය වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව පත්කිරීමය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න