බලය පවරා නෑ - එල්ලා මරන්න බෑ : මාලින්දගේ නීතිඥයා අභියාචනාධිකරණයට දන්වයි !

බලය පවරා නෑ - එල්ලා මරන්න බෑ : මාලින්දගේ නීතිඥයා අභියාචනාධිකරණයට දන්වයි !

බන්ධනාගාර ආඥා පනතතේ හෝ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ කිසිදු වගන්තියකින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට,වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කිසිදු බලය පැවරීමක් සිදුවී නැති බැවින්, එලෙස බලයක් පැවරීමක් නොමැතිව එම බලධාරීන්ට සිරකරුවන් එල්ලා මැරීම සිදු කළ නොහැකි යැයි නීතීඥ නිරාන් ඇන්කිටෙල් අද (03) අභියාචනාධිකරණය හමුවේ පැවසීය.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිදු පුද්ගලයෙකු එල්ලා මැරීම වළක්වා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගයේදී පෙත්සම්කාර හිටපු පුවත්පත් කර්තෘ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිරාන් ඇන්කිටෙල් මෙලෙස ප්‍රකාශ කළේය.

එසේම අලූගෝසුවාට පවා සිරකරුවන් එල්ලා මැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිසිම ආකාරයේ බලය පැවරීමක් සිදුවී නොමැති බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයෙකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වූ මාලින්ද සෙනවිරත්න ගොනු කළ රිට් පෙත්සම අද (03) පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී නීතීඥ නිරාන් ඇන්කිටෙල් මේ බව කීය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ , දීපාලි විජේසුන්දර , ජනක් ද සිල්වා , අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිරාන් ඇන්කිටෙල් මෙසේද කීය.

‘‘ බන්ධනාගාර ආඥා පනතතේ හෝ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ අනුශාංගික නීති රෙගුලාසි වල හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තු රෙගුලාසි යන සිල්ලලේ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම වගඋත්තරකාර පාර්ශවයට පැවරෙන කිසිදු වගන්තියක් සඳහන්ව නැහැ.අඩුම තරමින් මෙම මරණ දඬුවම ක‍්‍රියාත්මක වන ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අලූගෝසුවාටවත් බලය පැවරීමක් නැහැ.ඉන්දියාවේ එල්ලා මැරීම සිදු කරන බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු අදාළ බලධාරීන් බලපත‍්‍රයකින් බලයක පැවරීමක් සිදු වෙනවා.ලංකාවේ එවැනි ක‍්‍රමයකින් හෝ වේවා වගඋත්තරකරුවන්ට බලයක් පැවරීමක් සිදුවී නැහැ.

එබැවැන් කිසිදු පනතක වගන්තීයකින් නොපැවරී ඇති බලයක් මෙම වගඋත්තරකාර බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් ක‍්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි යන්න ප‍්‍රශ්නගත කාරණයක්. පෙත්සම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල වගන්තීන් ඈදා ගත යුතු නැහැ.අපි ඉදිරිපත් කරන තර්කය ඉතා සරලයි.වගඋත්තරකරුවන් මෙම ක‍්‍රියාව ඉටු කිරීමට නීතිමය බලයක් නැහැ

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීමට ජනපති ගත් තීරණය අවලංගු කරන රිට් ආඥාවක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණයට බලයක් තිබෙනවා.

ඒනිසා පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත්වීමට නියම කරන ලෙසත් විභාගය අවසානයේ තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරන තෙක් හිරගෙවල් වල රඳවා සිටින කිසිම සිරකරුවකු එල්ලා මරාදැමීම නොකරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට, වැලිකඩ බන්ධනාගාර අධිකාරිට සහ අලූගෝසුවකු සිටී නම් ඔහුට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලෙන් මා ඉල්ලා සිටින්නේ යැයිද නීතිඥ ඇන්කිටෙල් මහතා කියා සිටියේය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ්‍ය මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (04) දිනට කල් තැබිණි.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා පැවති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මරණ දඩුවම කි‍්‍රයාත්මක කරමින් සිරකරුවන් හතර දෙනෙකු එල්ලා මැරීමට අත්සන යෙදූ බව ප‍්‍රකාශ කර ඇත.එය ඉක්මනින් කි‍්‍රයාත්මක වන බවත් , මේ වනවිට ඊට දින තීන්දු වී ඇති බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තා වල සදහන් විය.

මෙම ජනාධිපති තීරණය තමන් අභියෝගයකට ලක් නොකරන නමුත් , පුද්ගලයින් එල්ලා මැරීම වනචාරී කි‍්‍රයාවකි. ජනාධිපතිවරයා අත්සන් යෙදීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඉක්මන් ක‍්‍රියාත්මක කරනු ඇත.එල්ලා මරණ දවස පෙත්සම්කරු නොදන්නා නමුත් එය සති අන්තයේදී සිදුවිය හැක.

 

එබැවින් මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් , වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත් හා අලූගෝසුවාටත් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සීටී.

පෙත්සම්කරු වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම උපදෙස් මත නිරාන් ඇන්කිටෙල් සහ හෆීල් ෆාරීස් යන නීතීඥවරුන් පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න