අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීම උදෙසා තම රජය පූර්ණ සහය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවය.

අගමැතිවරයා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි.

"ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ප්‍රසිද්ධ සංචාරක සගරාවක් වන "ලෝන්ලි ප්ලැනට්" සඟරාව මේ වසර ආරම්භයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සිටි සංචාරකයන් රටින් පිටව ගියා. ඒ අවස්ථාවේ ලෝන්ලි ප්ලැනට් සඟරාව සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් ස්ථානය අපේ රටට අහිමිවී යනු ඇතැයි සියලුම දෙනා කල්පනා කළා.

නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප්‍රකාශයට පත් කර තිබුණේ ගැටළු තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතුම ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි. එය අපට ආඩම්බරයට කරුණක්.

විවිධ ගැටළු තිබුණත් ඒවා නොතකා ශ්‍රී ලංකාවේ ජනතාව සිනහමුසුව තමන්ව පිළගත් බවයි එම සඟරාව ප්‍රකාශ කර තිබෙන්නේ. තමන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කළ බවත්, මේ වනවිට රට තුළ සංචාරය කිරීමට ගැටළුවක් නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා.

මේ තුළින් ශ්‍රී ලංකාවේ අපිට විශාල ධෛර්යක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට අපේ රජය විසින් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. එවැනි පියවර රැසක් ඉදිරියටත් ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට සංචාරක කර්මාන්තයේ නියැලෙන ලොකු කුඩා සියලුම පුද්ගලයන් ගත් උත්සාහයට මම ස්තූතිවන්ත වනවා.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු එදිනම ආරක්‍ෂක අංශ වෙත මම උපදෙස් ලබාදුන් පරිදි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සියලූදෙනාම අත්අඩංගුවට ගෙන මාස දෙකක් ගතවීමටත් පෙර රට නැවතත් යථාතත්වයට පත් කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශවලටත් ස්තඣතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මනින් පත්වනු ඇති බව මම විශ්වාස කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න