Language Switcher

V2025

තිරිඟු පිටි මිල ඉහළට : පාරිභෝගික සංගම් විරුද්ධයි !

තිරිඟු පිටි මිල රුපියල් 8:00 කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අදාල සමාගම සිය බෙදාහැරීම් නියෝජිතයන් වෙත මේ බව දන්වා ඇති බවද වාර්තා වන නමුත් ඊට කිසිදු හේතු දැක්වීමක් සිදුකර නොමැති බවත් වාර්තා වෙයි.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මේ මිල ඉහළ දැමීමේ ක්‍රියාව නීති විරෝධී බවත් ඒ සම්බන්ධව වැඩබලන අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ ඊට මැදිහත් වියයුතු බවය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් විසින් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කර ඇති බව මේ වන විට මාධ්‍ය විසින් වාර්තා කර ඇත. කිසිදු හේතුවක් නොමැතිව තිරිගු පිටි මිල වැඩි කිරීම නිසා බේකරි නිෂ්පාදන වල මිල ඉහළයාමට හැකියාවක් ඇත.

මෙම රජය බලයට පත් වූ විගස තිරිගු පිටි මිල අඩු කරමින් ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාව දෛනිකව තම ආහාර සදහා තිරිගුපිටි භාවිතා කරන බැවන් එසේ මිල අඩු කල බවයි. අපිට දැන් රජයෙන් ඇසීමට සිදුවන්නේ වතුකරයේ ජනතාව දැන් තිරිගුපිටි සිය ආහාර සදහා භාවිතා කරන්නේ නැද්ද? යන්නයි.

කෙසේ වෙතත් තිරිගුපිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කල නොහැක. ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හදුන්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 20(5) වගන්තිය යටතේ 2019 ජූලි 14 වනදා ගැසට්පත් අංක 1975/68 යටතේ තිරිගු පිටි කිලෝ එකක් සදහා රුපියල් 87.00 ක පාලන මිලක් නියම කර තිබීමයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය භාර අමාත්‍යවරයා වන බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ වහාම උක්ත ගැසට්පත අනුව කටයුතු කරමින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට කුඩා ව්‍යාපාරිකයින්ට නීතිය එක් ආකාරයකටත් විශාල සමාගම්වලට නීතිය වෙනස් ආකාරයකටත් ක්‍රියාත්මක කරමින් සිටින නිසා මෙම ගැසට්පත අනුව වැටලීම් කරවියැයි බලා පොරොත්තු තබා ගත නොහැක.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය