Language Switcher

V2025

බැසිල් වෙනම ගේමක : 2015 ජනාධිපතිවරණ පරාජය ගෝඨා පිටින් යවයි !

2015 ජනාධිපතිවරණය පරාජය වීමේ වගකීම තමන් භාරගත් නමුත් පසුව ඒ ගැන සොයා බැලීමේදී ඊට අදාල වෙනත් තොරතුරු ලැබුණු බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

පොහොට්ටු පක්ෂයේ සභාවක් අමතමින් බැසිල් රාජපක්ෂ මේ බව සදහන් කල ඇති අතර ජනාධිපතිවරණ පරාජයට අදාල එසේ සොයාගත් කරුණු කිහිපයක් ද ඔහු එම සභාව හමුවේ තැබීය.

එහිදී ජනාධිපතිවරණය පරාජය වීම සම්බන්ධව ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ගුවන් විදුලි සංස්ථාවේ සේවක කණ්ඩායමක් සමග සිදුකළ සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණු ද ඔහු පැවසීය.

ඒ අදාල සංස්ථා සේවකයනට තේ පානය සදහා ලැබුණේ මිනිත්තු 15ක පමණ කාලයක් බවත් ඒ සමයේ තේ බීම සදහා බෞද්ධාලෝක පාරේ අනෙක් පසට යාමට කහ ඉර පැනීමට itn කාර්‍යාලය අසලට යාමට සිදුවූ බවත් කහ ඉරෙන් නොමැතිව වෙනත් ස්ථානයකින් පාර පැන්නොත් පැය ගණනක් පාරේ හිටුවීමට සහ නිවාඩු දිනවල පදිකවේදිකාව සම්බන්ධව පංති යාමට කැඳවූ තත්ත්වයක් ගැන ඒ සේවක සේවිකාවන් තමන්ට පැවසූ බවත් බැසිල් රාජපක්ෂ පැවසීය.

මේ වැනි දුෂ්කරතා හේතුවෙන් තමන් තේ පානයට යන විට ඒ සදහා ලබාදී ඇති කාලය අවසන් වන බවත් එවැනි දුෂ්කරතා නිසා තමන් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට එරෙහිව ජන්දය ප්‍රකාශ කළ බවත් එම සේවක සේවිකාවන් පැවසූ බවත් බැසිල් රාජපක්ෂ එහිදී සදහන් කළේය.

බැසිල්ගේ ගෝඨා විරෝධය යළිත් !

බැසිල් රාජපක්ෂගේ මේ ප්‍රකාශය හරහා පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ සමයේ දියත් කර තිබූ මිලිටරි පාලන හැසිරීම් පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ හේතු අතර වන බවය.

පසුගිය කාලය පුරා රාජපක්ෂ පවුලේ බැසිල් - ගෝඨා ගැටුම 2020 ජනාධිපතිවරණය අභිමුව යළින් හිස එසවීමත් ලෙසද ඇතමුන් බැසිල් රාජපක්ෂ සිදුකළ මේ ප්‍රකාශක ගැන අදහස් දක්වයි.

මේ අතර පොහොට්ටු පාර්ශවයේ පක්ෂය නිර්මාණය කළ නිර්මාතෘ වූ බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ගෝඨා විරෝධයක් ඇවිලවීම කිසියම් දේශපාලන උපායක් විය හැකි බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ගෝඨා ට බෑ !

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ආණ්ඩු පාර්ශවය සතු බරපතල චෝදනා, විවේචන මෙන්ම නඩු කටයුතු සහ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අත්‍යාවශ්‍ය වන සුළු ජාතික ජන්ද ලබාගැනීමට ගෝඨාභය අසමත් බවත් එබැවින් ඒ වෙනුවට රාජපක්ෂ පවුලේ විශ්වාසය දිනූ වෙනත් ජේෂ්ඨ දේශපාලනඥයකු ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පාර්ශවයේ අවධානය යොමුව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.