Language Switcher

V2025

හේමසිරි සහ පූජිත් ගැන නීතිපතිගේ මාධ්‍ය නිවේදන : නි.සො.ජ දන්නෙත් නෑ !

ඉකුත් නඩු දිනයේදී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා නගා ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදු බව විත්තියේ නීතිඥවරුන් අවධාරණය කරයි.

අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් මේ බව පෙන්වාදෙනු ලැබුණි.

එහිදී එම නඩුවේ දෙවන සැකකරු වන පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් නඩු දිනයේදී මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදු බවත් පෙන්වා දුන්නේය.

මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු ඇතැයි පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන මෙන්ද ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සඳහන් කර සිටියේ සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව බවත් වර්තමානයේ තොරතුරු දැනගැනීමේ පනතද ඉදිරිපත් වී ඇති නිසා ඒ පිළිබඳව තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බවත් කෙසේවුවත් මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

මෙම කරුණ පිළිබඳව තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම කරුණ නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයාට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළ විමර්ශන වන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 3 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැර හැරීම සහ මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වෙතින් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේ සැකකාර හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවත් පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බවත් ඔහුගෙන් අද දිනයේත් ප්‍රකාශ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත්ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.