Language Switcher

V2025

එජාප අපේක්ෂකයා තේරීම : සන්ධානය පිහිටුවීමෙන් පසුව !

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්‍ෂ වලින් සමන්විතව පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂවල එකඟතාවයෙන් ගැනීමට ඊයේ (22) රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීරණය කළ යුත්තේ සියලු පක්‍ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය පිහිටවීමෙන් අනතුරුව බවද මන්ත්‍රී කණ්ඩායමේ තීරණයවූ බවත් දැනගන්නට ඇත.

එහෙත් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පෞද්ගලික අදහස ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමටනම් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් , අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ද එම අදහස අනුමත කරමින් අදහස් පළ කර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේද වැඩිකල් නොගොස් ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි තීරණයක් ගතයුතු බවයි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක අපේක්ෂකයෙකු නම් කිරීම පලක් නැති කාර්යක් ලෙසද තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී සියලු කරුණුවලට ඇහුම්කන් දුන් එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ සුදුසු මොහොතේ සුදුසු නායකයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය තීරණයක් ගනු ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් සිය පෞද්ගලික අදහස් ඉදිරිපත් කලද පක්ෂයක් ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොගත් බවයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.