Language Switcher

V2025

මට කොන්දක් තියනවා : ජනාධිපති ප්‍රසිද්ධියේ කියයි !

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති සිරිසේන පවසයි.

පැවති රජයේ මෙන් ම පවතින රජයේ ද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බවද පැවැසිය.

එසේම 2018 වසරේ සිටි අග්‍රාමාත්‍යවරයා ඉවත්කර හිටපු ජනාධිපතිව අගමැති කළෙත් තමන් සතු හොඳ පිටකොන්දක් තිබෙන නිසා බවත් හිටපු ජනාධිපති සමයේ තමන්ගේ කොන්ද ගැන කරන ප්‍රශ්න ඇසුවා නම් සිදුවන දේ පැහැදිළි බවත් පැවසීය.

පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බවද ජනපතිවරයා සඳහන් කළේය.

එසේම විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු බවත් එම විවේචන කරන සියලු දෙනා පාවා දෙන්නේ අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ විරෝධාර රණවිරුවන් ප‍්‍රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද ඔහු කියා සිටියේය.

එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර අතේ තබාගෙන අපේ‍්‍රල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

තමා සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බවත් යම් ප‍්‍රශ්නයක් තිබේනම් ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අපේ‍්‍රල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලුදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බවත් ඔහු පැවැසීය.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.

අපේ‍්‍රල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත‍්‍රස්ත සංවිධානය ශ‍්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලු කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

අවිඥානයේ අර්බුදය !

ජනාධිපති සිරිසේන ගේ මෙම ශක්තිමත් පිටකොන්දේ කතාව සම්බන්ධව දේශපාලන විචාරකයන්ගේද අවධානය යොමුව ඇත. මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ ජනාධිපති සිරිසේන ගේ අවිඥානය විසින් ඔහුගේ පිටකොන්ද ගැන ප්‍රශ්න කර ඇති බවත් එබැවින් ඔහු ඊට පිළිතුරු දෙන්න ගෙන ඇති බවය.

එකී අවිඥානික ප්‍රශ්නය එළියට පැනුනේ පසුගියදා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් විසින් සිදුකල ප්‍රකාශයත් සමඟ බවත් එහිදී අගරදගුරු විසින් "කොන්දක් නැති නායකයන්" ලෙස සිදුකළ ප්‍රකාශයට ජනාධිපති සිරිසේන සංවේදී වුයේ ඔහුගේ අවිඥානය තුළ මේ "කොන්දක් නැද්ද" ප්‍රශ්නය බුරබුරා පැනනැගෙමින් තිබූ නිසා බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් විස්තර කරමින් දේශපාලන විචාරකයන් මෙසේද අදහස් දක්වයි.

කොන්ද ඇති බව කටින් කියන්න හේතුව !

කොන්දක් ඇති බව, සෘජු තීන්දු ගන්නා පෞරුෂයක් ඇත්තෙකු බව කටින් කීමට අවශ්‍ය වන්නේ එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අසමත් වූවන්ය. අනෙක් අතට කොන්දක් ඇති අයෙකු ලෙස හඳුන්වන්නේ නිවැරදි සෘජු තීන්දු ගන්නා අයෙකු මිස අත්තනෝමතික ග්‍රාම්‍ය හැසිරීමක් හරහා සමාජ පර්යාය අර්බුදයට යවන්නන් නොවේ. ඒ අර්ථයෙන් ගත්කළ ජනාධිපති සිරිසේන සිය කොන්ද ඇති බව ඔප්පු කර ඇත්තේ නිදර්ශනයක් ලෙස ව්‍යවස්ථා විරෝධී ආකාරයට, දේශපාලන කුමන්ත්‍රණයක් හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය වෙත පත්කිරීම වැනි කාරණා හරහාය.

ඒ හැර මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම වැනි කාරනා දෛනිකව සිදුකරන රාජ්‍යයේ ආරක්ෂණ යාන්ත්‍රණය විසින් එනම් පොලිසිය සහ ආරක්ෂක අංශ සිදුකරන රාජකාරි ය. ඒවා කොහෙත්ම අවසානයක් වෙත ගෙනයා හැකි දේ නොවන අතර සිදුකල හැකිව ඇත්තේ එකී ජාවාරම් යම් පාලනයකට නතු කිරීම පමණය. ඒ ගැන ඊට සදහටම තිත තැබීමක් ගැන නං දොඩවනවා නම් ඒ ගෝලීය ආර්ථික හැසිරීම ගැන අබමල් රේණුවක දැනුමක් නොමැතිව කියවන දේ පමණි.

අනෙක් අතට දුෂණ වංචා සම්බන්ධව කොමිෂන් පත්කිරීම ඉතිහාසයේ පටන් සිදුව ඇති දේ වෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවා ජනාධිපතිනිය ලෙස පත්වීමෙන් අනතුරුව කොමිෂන් පත්කළ ඉතිහාසයක් අපට ඇත. එහෙත් ඒ කොමිෂන් වාර්තා වලටම පමණක් සීමා වූ අතර ජනාධිපති සිරිසේනගේ කොමිෂන් ද ඊට වෙනස් නැත.

දේශපාලන තීන්දු හමුවේ පෙන්වීමට තිබූ කොන්ද !

කෙසේ වුවත් ජනාධිපති සිරිසේනට කොන්දක් ඇතිව වැඩ කරන්නෙකු බවට ඔප්පු කිරීමට කොතෙකුත් අවස්ථා ඔහුගේ පසුගිය පාලන සමය තුල තිබිණ. ඊට එක් නිදර්ශනයක් නම් ඒකාබද්ධ විපක්ෂය ලෙස තම පක්ෂයේ කොටසක් වෙනම ගමනක් යාමට ගිය අවස්ථාවේ ය. එහිදී ගිය පිරිස නවත්වා ගැනීමට ජනාධිපතිට නොහැකි විය. ඔවුන් වෙනම මැතිවරණයකට පවා ඉදිරිපත් විය. එහිදී හෝ විනය ක්‍රියාමාර්ගයක් ගන්නට ජනාධිපති සිරිසේන සමත්වූයේ නැත.

තවත් අවස්ථාවක් නම් අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ ජනාධිපති සිරිසේනගේ තීරණයට පිටින් ගොස් කටයුතු කල ශ්‍රීලනිප පාර්ශවයන් සම්බන්ධව කිසිවක් කරකියා ගන්නට නොහැකි වීමය.

මේ ආකාරයට කොතෙකුත් නිදර්ශන ඊට සැපයිය හැකිව තිබේ. අවසන් වශයෙන්ද නිදර්ශනයක් ගෙන දක්වනවා නම්එදා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතා ඉදිරිපත් වන විට ඒ තීරණය ගැනීම හමුවේ ඔහුගේ කොන්ද සම්බන්ධව විශ්වාසය තබා පැමිණි පිරිස රැක ගැනීමට නොහැකි වීමය. දුමින්ද දිසානායකට ලබාදුන් මහ ලේකම් ධුරය හෝ වෙනස් නොකර තැබීමට තරම් ධෛර්යයක් සිරිසේන ජනාධිපතිට තිබුණාද ? ප්‍රශ්නය ඇත්තේ එතැනය.