Language Switcher

V2025

ජනාධිපති ධූර කාලය පැහැදිළියි : වංගු ගහන්න එන්න එපා - ජවිපෙ

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පැහැදිලි වන බැවින් ධුර කාලය සම්බන්ධයෙන් නැවත මතය විමසීම වැනි වංගු ගැසීමට යාම අනවශ්‍ය දෙයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඊයේ (22) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“මේ වනවිට ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් කතාබහක් මතුවෙලා තිබෙනවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුර කාලය වන්නේ වසර 06ක්. ඒ වගේම එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අසීමිත බලතල ප‍්‍රමාණයක් තිබෙනවා. එම අසීමිත ඒකාධිපති බලතල සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා තමයි 19වැනි සංශෝධනය ගෙනාවේ. ඒ සඳහා ප‍්‍රගතිශීලී බලවේග විශාල පිරිසක් මැදිහත් වුණා. එම නිසා 19 සංශෝධනයේ ඉතාම පැහැදිලි කරුණක් තමයි ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම. 1978 ව්‍යවස්ථාවේ 32 වගන්තියට අනුව තේරී පත් වූ ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ අනුව තමයි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09වැනිදා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී ධුරයේ වැඩ බාරගත්තේ. එම නිසා ඔහුගේ ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා පටන් ගැනෙනවා. 19වැනි සංශෝධනය මගින් වසර 06ක්ව පැවති ජනාධිපති ධුර කාලය වසර 05ක් දක්වා අඩු කළා. ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තියට අනුව ජනාධිපතිවරයා අවුරුදු 05ක කාලයක් ධුරය දරන්නේය යනුවෙන් සඳහන් වෙනවා.

ඒ අනුව ඉතාම පැහැදිලි කරුණක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08වැනිදා අවසන් වන බවයි. මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් ධුරයේ කාලය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ මත විමසුමක් කළා. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන්නා, වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05යි කියලා. ඒ වගේම එම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වෙනවා, ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා ආරම්භ වෙනවා කියලා. ඒ නිසා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම කිරීම අනවශ්‍ය දෙයක්. මේ කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරණය නොවැම්බර් මසදී පැවැත්විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරණය කල් දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කියා තිබුණා, ලෝක විනාශයක් නැත්නම් ජනාධිපතිවරණය නවත්වන්න කාටවත් බැහැ කියලා.

ඒ වගේම ජනාධිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් වාද විවාද තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. විශේෂයෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා සහභාගී නොවන බව කියා තිබුණා. තේරීම් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවෙන් පත්කරන එකක්. ඒ සඳහා ජනාධිපතිවරයා අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයන් ගන්නා තීන්දු තීරණ තේරීම් කාරක සභාවට පැහැදිලි කළ යුතුව තිබෙනව. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(අ) වගන්තියේ සඳහන් වෙනවා. එම නිසා ජනාධිපතිවරයාට වංගු ගහන්න පුළුවන්කමක් නැහැ.