Language Switcher

V2025

ජනාධිපතිගේ අභියෝගය අගමැති භාරගනියි - බැඳුම්කර විවාදය පෙබරවාරි 8

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතළ දුෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දෙනියාය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ විවාදය කැඳවීමේ ලිපිය එළඹෙන සඳුදා නිකුත් කරන බවය.

දේශපාලන ආරංචිමාර්ග සන්දහාන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ මෙම වාර්තාවන්හි විවාදයන් මැතිවරණයෙන් පසු යොදා ගත්තේ දුෂිත ප‍්‍රභූ සන්ධනායේ එකගතාවයෙන් බවත් හැකිනම් මැතිවරණයට පෙර අදාල විවාදය සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා පසුගියදා කළ අභියෝගය බාරගනිමින්ය.

එසේම දිගින් දිගටම ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විවේචනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඊට ප්‍රතිචාර නොදැක්වීම එක්සත් ජාතික පක්ෂයේ ජන්ද පදනමට හානියක් බව මන්ත්‍රීවරුන් රැසක් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට ඇති බවද වාර්තා වෙයි.

ජන්දයට පෙර විවාදය පවත්වමු - ජවිපෙ සහ ඒකාබද්ධ විපක්ෂය

මේ අතර බඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතල දූෂණ වංචා වාර්තාව සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණය පෙර විවාදයක් පැවැත්විම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද කථානායක කරූ ජයසූරිය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ බව අද (27) අවිසාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් තහවුරු කර සිටියේය.

එසේම සෑම ජනහමුවකදීම පාහේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ද සඳහන් කර සිටින්නේ පළාත් පාලන මැතිවරණයට පෙර අදාළ විවාදය පැවැත්වීමට තමන්ද පක්ෂ බවයි.

බැඳුම්කර විවාදය හමුවේ ජනාධිපති අමාරුවේ

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතල දුෂණ වංචා විමර්ශන වාර්තාව සම්බන්ධ විවාදය ඉදිරියට නොගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සිදුකරන විවේචනය පදනම් විරහිත බවය.

විශේෂයෙන් බැඳුම්කර කොමිෂන් වාර්තාවේ කරුණු ජනාධිපතිවරයා හරිහැටි හදාරා නොමැති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සහ කොමිෂන් වාර්තාව අතර බරපතල පරස්පරතා ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

newstube.lk වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සඳහන් කර සිටියේ අදාළ වාර්තාව සාරාංශ කොට ජනාධිපතිවරයාට ලබාදුන් පාර්ශවය වාර්තාවේ කරුණු විකෘති කර ඇති බව මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඔප්පු කර ඇති බවත් මේ හමුවේ ජනාධිපතිවරයා අමාරුවේ දැමීම සම්බන්ධව එතුමාට වැරදි උපදෙස් ලබාදුන් පාර්ශව වගකිව යුතු බවය.

එසේම කොමිෂන් වාර්තාව හමුවේ තම පක්ෂයට කිසිඳු හානියක් සිදුව නොමැති බවත් එළඹෙන 8 වනදා තම පක්ෂයේ කථිකයන් ඒ බව ඔප්පු කිරීමට සූදානමින් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.