Language Switcher

V2025

පොහොට්ටු මන්ත්‍රීවරුන් මරාගනියි : මුලස්ථානයෙන් ගිය ලොක්කටත් ගුටි පූජාවක් !

පොහොට්ටු පක්ෂයට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර අද (31) පෙරවරුවේ හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරු පිරිසක් පදියතලාව රෝහලටත් තවත් මන්ත්‍රීවරු පිරිසක් අම්පාර රෝහලටත් ඇතුළත් කර ඇති අතර එහි සභාපති ලලන්ත සුමිත් සෙනෙවිරත්න රෝහලේ සිටියදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොහොට්ටු පක්ෂයේ සංවිධායකයින් පත් කිරීමක් සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික්කය පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ නියෝජිතයින් සහ නව සංවිධායකින් අතර දිගින් දිගටම ගැටුම් නිර්මාණය වෙමින් පැවතිණි.

පසුගියදා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පොහොට්ටුවේ පොතුවිල් ආසන සංවිධායකවරයාගේ ලේකම් ඇතුළු පිරිසක් විසින් පහරදීමක් සිදු කර තිබූ අතර එම ගැටුමද නව සංවිධායකයින් පත් කිරීමේ සිදුවීමක් පදනම් කරගෙන ඇති වූ ගැටුමකි.

පොහොට්ටුව පක්ෂය අලුත් මැරයන් පිරිසක් විසින් ඩැහැගෙන ඇති බවත් එම මැරයන් පිළිබඳව පක්ෂ නායකයින් තීරණයක් නොගතහොත් තමන් පොහොට්ටුව හැරයන බවත් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එම අවස්ථාවේ මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

අද පෙරවරුවේ පොහොට්ටු පක්ෂයේ ඊ – කැන්වසින් ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එය විමලවීර දිසානායක විසින් සංවිධානය කර තිබී ඇත.

එම දැනුවත් කිරීමේ කටයුත්ත සඳහා පක්ෂ මූලස්ථානයෙන් ඉහළ සංවිධායකයෙකුද පැමිණ ඇති අතර දිස්ත්‍රික්කයේ සංවිධායකයින් අතර පවතින ගැටුම එතනදීද ඉස්මතුවී තිබේ. එහිදී සංවාදයක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පක්ෂ මූලස්ථානයෙන් පැමිණි ඉහළ සංවිධායකයාටද පහරදී තිබේ.

ඒ අනුව පක්ෂ මූලස්ථාන සාකච්ඡාව පසෙක තබා නව සංවිධායකයින් සහ පැරණි සංවිධායකයින් දෙපිළ බෙදී පොළු මුගුරු ගනිමින් එකිනෙකා ගුටිබැට හුවමාරුවක් සිදුකරගෙන ඇත.