Language Switcher

V2025

ගෝඨා ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට : ගුවන් ගමන් බලපත් මාරුවක !

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ඊට අදාල ලියකියවිලි සමග සිය ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍රය එරට බලධාරීන්ට ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ, ද්විත්ව පුරවැසිභාවය සඳහන් නොමැති ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් ඒ සඳහා ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ අනුග්‍රහය ලැබී ඇති බවත් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

ගෝඨාභය පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතව ඇත්තේද එසේ ලබාගත් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයකින් බව එම වාර්තාවල පළවේ.

ඒ සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ පළවී ඇති වර්තාවක සඳහන් වන්නේ, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එකී නව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරද්දී, ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන නොතිබුන බවයි.

එවැනි තත්වයක් තුළ ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබීම බරපතල කාරණයක් බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි.

ලංකාව සෑම ද්විත්ව පුරවැසියෙක් සඳහාම නිකුත් කරන ගුවන් ගමන් බලපත්වල දෙවන පිටුවේ 'මොහු ද්විත්ව පුරවැසියෙකි' යන්න සඳහන් කරන නමුත්, ගෝඨාභය රාජපක්ෂ අලුතින් ලබා ගත් ගුවන් ගමන් බලපත්‍රයේ ඒ බවක් සඳහන් කර නැති බව පවසන 'ලංකා ඊ නිව්ස්' ඔහුට ඒ සඳහා රහසින් උදව් කර ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් බවද කියා සිටියි.

තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගනිමින් නව ගුවන් බලපත්‍රයක් ලබා ගත් බව ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණේ එම ගුවන් බලපත්‍රය ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාල ක‌රුණක් නොවන බවයි.

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව තවමත් දැනුම්දී නොමැති බව ආගමන විගමන පාලකවරයා ප්‍රකාශ කර තිබේ.