අධිකරණ ක්ෂේත්‍රයේ අර්බුදයක්: සිරිසේනගේ නීති ලේකම් විනිසුරුධූරයට !

අධිකරණ ක්ෂේත්‍රයේ අර්බුදයක්: සිරිසේනගේ නීති ලේකම් විනිසුරුධූරයට !

විනිසුරු එම්.එම්.ඒ. ගෆූර් මහතා අප්‍රේල් 23 වැනිදා සිට විශ්‍රාම යෑම නිසා අධියාචනාධිකරණයේ පුරප්පාඩු වී තිබෙන විනිශ්චයකාරධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කාර්ය මණ්ඩලයේ නීති ලේකම්වරිය පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැවීමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ අලුත් අර්බුදයක් ඇති විය.

අගෝස්තු 2වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යවන ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න එමගින් කියා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ලක්ෂ්මි මේනකා මීනු ජයවික්‍රම මහත්මිය එම පුරප්පාඩුවී ඇති අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන බවයි.

ජනාධිපතිවරයා ජයවික්‍රම මහත්මියගේ නම් නිර්දේශ කර ඇත්තේ, විනිසුරුධූරය සඳහා ඇයට වඩා ඉතා ඉහළ සුදුසුකම් තිබෙන වෘත්තීය විනිශ්චයකාරවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සිටියදීය.

ඒ අතර වර්තමාන කෑගල්ල මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨත්වයෙන් ප්‍රමුඛම ස්ථානයේ සිටින අතර, ඔහු 1988 නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී සේවය කොට පසුව 1992 ඔක්තෝබරයේදී අධිකරණ සේවයට බැඳී මහාධිකරණ විනිසුරුවරයෙකු දක්වා කීර්තිමත් වෘත්තීය ඉතිහාසක් පසුකරගෙන ආ විනිසුරුවරයෙකි. එංගලන්තයේ කාෆිඩ් විශ්වවිද්‍යාලයෙන් එල්එල්එම් උපාධිය හා කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ඇත්තෙකි.

අනෙක් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරිය, දැනට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරිය හැටියට කටයුතු කරන දීපිකා අබේරත්න මහත්මියයි. කොළඹ විශ්ව විද්‍යාලයේ එල්එල්එම් උපාධිධාරිනියක වන ඇය 1991 දී අධිකරණ සේවයට බැඳුනු කීර්තිමත් වෘත්තීය ඉතිහාසයක් ඇති විනිශ්චයකාරවරියකි. මේ දෙදෙනාගේම නම් මීට පෙරද අභියාචනාධිකරණ විනිසුරුධූරවලට යෝජනා වී තිබීම විශේෂත්වයකි.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සෝභිත රාජකරුණාගේ නමද විනිසුරුධූරය සඳහා සුදුස්සන් අතර තිබෙන බව දැනගන්නට තිබේ.

මේ සියළු සුදුසුකම් සැපුරූවන් සිටියදී මණ්ඩලයේ නීති ලේකම්වරිය‌ගේ නම පමණක් ජනාධිපතිවරයා නිර්දේශ කිරීමෙන් අධිකරණයේ වෘත්තීයභාවයට, අපක්ෂාපාතීභාවයට හා ගුණාත්මකභාවයට මෙන්ම වෘත්තීය විනිසුරුවරුන්ට සාධාරණ ලෙස උසස්වීම් ලබා ගැනීමට තිබෙන අයිතියටද ජනාධිපතිවරයා බරපතල හානියක් කරන බව ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරු කීප දෙනෙක් පැවසූහ.

ලක්ෂ්මි ජයවික්‍රම මහත්මිය මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ අතර, සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඇය ජනධිපති කාර්යාලයේ නීති ලේකම් හැටියට ද්විතියන පත්වීමක් ලැබුවාය. ලක්ෂ්මි ජයවික්‍රම මහත්මිය කිසිදාක පහළ විනිසුරුධූරයකවත් කටයුතු කර නොමැත.

අභියාචනාධිකරණ විනිසුරුධූරයට ඇය නම් කිරීම ගැන මේ වන විට අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුද බලවත් විරෝධතාව පළකරමින් සිටිති. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී, ඉහළ අධිකරණ විනිසුරුධූරයක් සඳහා පුද්ගලයෙකු මෑත කාලයේ නම් කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

අභියාචනාධිකරණයට විනිසුරුවරයෙකු හැටියට පත්කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ නාම යොජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලැබුවහොත් පමණි.

(අනිද්දා -නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න