Language Switcher

V2025

මරණ දඬුවම : ජනාධිපතිගේ අත්සනට - ශෝක දිනයට අත්වන ඉරණම ?

මරණ දඬුවම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් කතා බහ කරන්නට යෙදුණේ රටේ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාශීලී වීමත් සමඟය.

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරීමට බව පවසමින් ජනාධිපතිවරයා ඊට උත්සුක විය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරන උත්සාහය පිළිබඳව ජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් පළ වූයේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අදහස් මෙහිදී කැපී පෙනුණි. ඇතැමෙක් එය අගය කළහ. තවෙකෙක් ඊට එරෙහි වූහ.

රටේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින සීතල යුද්ධය මරණ දඬුවම සම්බන්ධයෙනුත් බලපා ඇති බවට ඉඟි පළවන්නේ ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමේ උත්සාහයක් දියත්වීම හේතුවෙනි.

විධායක ජනාධිපතිවරයාට කළ නොහැක්කේ "ගැහැණියෙක් පිරිමියෙකු කිරීම හෝ පිරිමියෙක් ගැහැනියක කිරීම" පමණකැයි ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ ආර් ජයවර්ධන පවසා තිබුණි.

නමුත් දැන් තත්වය වෙනස් වී ඇත. ව්‍යවස්ථාව සංශෝධනය විය. පොදු අපේක්ෂකයෙකු ජනපති පදවියට පත්විය. පාර්ලිමේන්තුව විධායකයට අභියෝගයක් විය. අධිකරණය විසින් විධායකයේ ඇතැම් තීන්දු බල රහිත කරනු ලැබීය.

මේ සියල්ල ජනතා විනිශ්චයට බඳුන් වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය.

ජනපතිගේ නියෝගය වලංගු ද?

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විධායකය සැරසෙද්දී එය අහෝසි කිරීමට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව සැරසේ.

මෙවැනි තත්වයක් හමුවේ, එල්ලා මැරීමට නියමිත පුද්ගලයෙකුගේ ඉරණම තීරණය වන්නේ කාගේ විධානය යටතේ ද?

යම් හෙයකින් මරණ දඬුවම අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත සම්මත වුවහොත් ජනාධිපතිවරයාගේ විධානය තවදුරටත් වලංගු වේද?

"මතක තියා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වනවිට නඩුවක් තියෙනවා. ජනාධිපතිවරයාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කල් දාල තියෙන්නේ ඔක්තෝම්බර් වෙනකල්. ඒ කියන්නේ එක පැත්තකින් විධායකය ඉන්නවා. අනෙක් පැත්තේ ව්‍යවස්ථාදායකය ඉන්නවා. ඒ අතරේ ශ්‍රේෂ්ඨාධිකරණයත් ඉන්නවා."

නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කතාවට එසේ මුලපිරුවේ ඉහත කී ප්‍රශ්න ඔහු අභිමුඛව නැගූ මොහොතේ ය.

මෙවැනි තත්වයක් හමුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යෑමේ දී ජනාධිපතිවරයාට බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බව ඔහු පැවසීය.

"ජනාධිපතිවරයාට විධායක බලතල තිබුණට මරණ දඬුවම අත්සන් කරන්න බැරි තත්වයක් උදා වෙනවා. අත්සන් කළත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ඕනෑම පුරවැසියෙකුට නඩුවක් දාන්න පුළුවන්. එතන දී අවසාන තීරණය යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට." ආචාර්ය මහානාමහේවා ප්‍රකාශ කළේය.

ජනපතිගේ අත්සනට අත්වන ඉරණම

මේ අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවනු ඇති බව ඔහුගේ අදහසය.

කෙසේ නමුත් මේ වනවිට සිව්දෙනෙකු එල්ලා මරා දැමීම සඳහා තමන්ගේ අත්සන තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කර තිබුණි. අලුගෝසුවන් දෙදෙනෙකු ද සුදානම් ය.

යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කිරීම සඳහා ගෙන ආ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් මෙම ලිපියට අත්වන ඉරණම සහ බන්ධනාගාර නිලධාරීන් අවනත විය යුත්තේ කාගේ නියෝගයට දැයි ආචාර්ය මහානාමහේවාගෙන් විමසීමි.

"මෙතනදී බන්ධනාගාර නිලධාරීන් මෙම ලිපිය නීතිපතිවරයාට ඉදිරිපත් කරල ඔහුගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතුයි. ඒ වගේම අර මරණ දඬුවමට නියම වෙලා ඉන්න කෙනෙකුගේ ඥාතියෙකුට පුළුවන් උසාවියට ගිහින් තහනම් නියෝගයක් අරගෙන නඩු මගට බහින්න." ඒ ඔහුගේ පිළිතුරය.

ජනාධිපතිවරයාට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ හැකිද?

මරණ දඬුවමට එරෙහිව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වුවහොත් එම දිනය ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවට ඉකුත් දිනෙක ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ සපථ කළේය.

ඇත්ත වශයෙන් ම ජනාධිපතිවරයාට තම විධායක බලය පාවිච්චි කර ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ හැකිද?

"ශෝක දිනයක් පත් කරන්න ජනාධිපතිට බැහැ. එහෙම කරන්න නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හරහා අමාත්‍යංශ නියෝගයකින් එන්න ඕන. එහෙම නැතුව ජනාධිපතිවරයාට හිතුමතේ ශෝක දින කියව කියව යන්න බැහැ. ඒකට තියෙනවා ලංකාවේ පිළිගත්, විධිමත් නීතියක්."

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ගේ අදහස එයයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පසුගිය ජූනි 26 වැනිදා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

අදාළ සිරකරුවන් 4 දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක් ද තීන්දු කර අවසන් බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, එය "ළඟදී ම ක්‍රියාත්මක වනු ඇති," බවය.

ජනාධිපතිවරයාගේ තීරණයට අගමැති රනිල් වික්‍රමසිංහ සිය විරෝධය පලකළ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ සියල්ල ඊට විරුද්ධ බවය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මරණ දණ්ඩනය ලබාදීමේ තීරණයට තමන් එකඟ නොවන බව සඳහන් කළේය.

මේ අනුව පෙනී යන්නේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මීට විරුද්ධත්වය මතු වී ඇති බවය.

මෙම තීරණයට සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබුණි. උපහාස අපහාස මෙන්ම ඊට සහයෝගය දක්වමින් බොහෝ දෙනා මෙම කතිකාවට සම්මාදම් වී සිටිති.

මරණ දඬුවම ගැන සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් තබන මාධ්‍යවේදිනී නාමිණී විජේදාස, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය යටතේ මිනීමරුවන් වැනි අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙන අතර, කිසිදු වරදක් නොකළ පුද්ගලයන් හිරිහැරවලට ලක්වන සහ දඬුවම් විඳින බව උදාහරණ සහිතව පෙන්වා දී තිබුණි.

මේ අතර බීබීසී සිංහල සේවය සමඟ මීට ඉහතදී අදහස් දැක්වූ නීතිවේදිනී අචලා සෙනෙවිරත්න කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ළමා අපයෝජකයින් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවය.

"සදාචාරාත්මක පැත්තෙන් ගත්තොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරන්න බැහැ. ඒත් සමාජයට විනාශයක් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ළමා අපයෝජකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මම විරුද්ධ නැහැ. අඩු තරමින් අංශ කිහිපයකට හරි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොඳයි. එතකොට සමාජයට හානියක් කරන ජාවාරම්කරුවන් යම් විදිහකින් පාලනය වෙයි කියලයි මම හිතන්නේ."

(බීබීසී)