ප්‍රවේසම් වෙන්න : ගෝඨාගේ බලඇණිය සූදානම් !

ප්‍රවේසම් වෙන්න : ගෝඨාගේ බලඇණිය සූදානම් !

ඉදිරි මැතිවරණ කාලයේදී සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බලඇණියක්යෙ දවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

මේ ආරක්ෂක බලඇණිය පිහිටුවන්නට අදහස් කරන්නේ ඔහුගේ නිත්‍ය ආරක්ෂක සාමාජිකයන්ට අමතරවය. එම නිත්‍ය ආරක්ෂක සාමාජිකයන්ට සහාය වීම සඳහාය. ඒ සඳහා එක් මැතිවරණ කොට්ඨාසයකින් පනස් දෙනෙකු තෝරාගැනීමට නියමිතය. මේ පනස් දෙනා ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නීත්‍යානුකූලව ඉවත්වු සාමාජිකයන් බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජයෙන් නොලැබීමේ තත්වය යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ ද ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බව එම වාර්ථාවල දැක්වේ.

තවද ගෝඨාභය රාජපක්ෂ සමග හමුදාව තුළ එකට කටයුතු කළ හමුදා නිලධාරීන්ද මේ ආරක්ෂක වැඩපිළිවෙළ සමග ස්වේච්ඡාවෙන්ම එකතුවීමට කැමැත්ත පළකර ඇතැයිද වැඩිදුරටත් දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ වියත් මග, එළිය වැනි ඔහුගේ ආධාර කණ්ඩායම් සමග රට පුරා ගොස් සම්මන්ත්‍රණ ඇමතුවේය. ඔහුට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇතැයි හෝ ඔහුට ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියා කිවේ නම් නැත.

ඔහුගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇත්නම් ඒ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිව යුතුය. එසේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවුයේ බුද්ධි අංශද? එම අනතුරු ඇඟවීම අනුව ඔහුට තර්ජන ඇත්තේ විරුද්ධ දේශපාලන කණ්ඩායම්වලින්ද, නැතහොත් ඔහු සහමුලින් උදුරා දැමුවායැයි කියන එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන්ද? එසේත් නැතහොත් වර්තමානයේ මතුවී ඇති මුස්ලිම් අන්තවාදීන්ගෙන්ද?

නීත්‍යානුකූල නොවන අන්දමට පවත්වාගෙන යන සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට ඕනෑතරම් අත්දැකීම් තිබෙනවා විය හැකිය.

රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ දැනුවත්භාවය හා අණදීම යටතේ එවැනි කණ්ඩායම් සිටි බවට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කිහිප වතාවක්ම ප්‍රකාශ කර ඇත.

මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ ස්ථානගත කර සිටි හමුදා බළඇණියද එවැනි පිරිසක් වශයෙන් සලකන්නට අපට සිදුවේ. මන්ද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ඇතුලු මාධ්‍යට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බොහෝ චෝදනා ඔවුන්ට එල්ල වී ඇති නිසාය.

රිවිර' කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදී පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට දැන් නීතිපතිවරයා චෝදනා ගොනුකර තිබේ.

අර්ධ මිලිටරි රාජ්‍යයක ස්වරූපය පසුගිය රාජපක්ෂ පාලනයේ අවසන් කාලයේදී අපි අත්දුටුවෙමු. ඒ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්කමට පින්සිදුවන්නටය.

හිටපු හමුදා සාමාජිකයන්ගේ මේ බළඇණි කතාවෙන්ද අපට නැවත පෙන්නුම්කර මතක්කර දෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් අනාගත ශ්‍රී ලංකාවක සැබෑ හැඩරුවය. ඊට එරෙහිව දැන්ම ප්‍රවේශම්වීම හා සූදානම්වීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන මිනිසුන්ගේ වගකීමය.

(අනිද්දා - ලසන්ත රුහුණගේ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න