Language Switcher

V2025

ගෝඨාගේ විශ්‍රාමික මිලිටරි ජුන්ටාවට ජය : මහින්දගේ ගමන අවසන් ?

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ, තම පුද්ගලත්වය, පවුල, පුද්ගලික මිතුරන්, ව්‍යාපාරිකයින් හා අන්තවාදීන් පිරිසක් කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) ජනාධිපති අපේක්ෂකත්වය අත්පත් කර ගැනීමට අද (11) දිනයේ දී සමත්වනු ඇත.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ ජනතා ආකර්ෂණයක් සහිත මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයත්, බැසිල් රාජපක්ෂගේ අධිෂ්ඨානශීලී කැපවීම හා මඟපෙන්වීමත් මත ශ්‍රී ලාංකීය දේශපාලන තුළ කෙටි කලදී බලවේගයක් බවට පත්වූ 'පොහොට්ටු' පක්ෂයේ පළමු සමුළුව අද (11) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභයගේ නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුව ආ අන්තවාදී මතවාදය තවදුරටත් පෝෂණය කරමිනි.

1 4

මෙසේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පැමිණි ගමනේදී ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආදර්ශයට ගෙන ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

වත්මන් ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් 'රාවය' පුවත්පතේ පළවූ ආචාර්ය ජයදේව උයන්ගොඩ ගේ දේශපාලන විග්‍රහයක මෙසේ සඳහන්වේ.

''ගැලවුම්කාර ‘පුද්ගල’ අපේක්ෂකයන්ගේ මතුවීම අප රටේ දේශපාලන ආයතනවල ඇතිවී තිබෙන විශාල වෙනස්වීමක ප්‍රකාශයක්ද වෙයි. එම වෙනස්වීම නම් දේශපාලන ‘පක්ෂවල කාර්යභාරය අබිබවා පුද්ගල දේශපාලනඥයන් මතුවීමයි.

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය වෙතින් ඇමරිකානු දේශපාලනයේද ප්‍රදර්ශනය වූ ප්‍රවණතාවකි. ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ ව්‍යාපාරය දියත් කළේ රිපබ්ලිකන් පක්ෂය කේන්ද්‍ර කොටගෙන නොව, තම පුද්ගලත්වය, පවුල, ව්‍යාපාර සහ පුද්ගලික මිතුරන් කේන්ද්‍ර කොටගෙනය. පසුව ඔහුට ‘බෑ’ කීමට රිපබ්ලිකන් පක්ෂයට නොහැකි විය.

මහින්ද: ගමනක අවසානය ද ?

මෙසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමට රාජපක්ෂ පවුල විසින් ගෙන තිබු තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් එතරම් ප්‍රසාදයක් දක්වා නොතිබිණ.

පසුගිය දින කිහිපයේ එවැනි දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනෙකු තනි තනිව හමුව ඇති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ඔවුන්ව සැනසීමට විවිධාකාරයේ ප්‍රකාශකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 'පොහොට්ටුවේ' අපේක්ෂකයා ලෙස නම් කලද ඉදිරියේදී සුළු ජාතික දේශපාලන පක්ෂවල ද සහයෙන් පිහිටුවන විපක්ෂයේ පුළුල් සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා වෙනත් අයකුවිමට ඉඩ ඇතැයි ද ඔහු එහිදී පවසා තිබේ.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වා ඇති ඔවුන් පවසා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔහු විපක්ෂයේ නොනිල නායකයා බවට පත්වීම කිසිවකුට වැලැක්විය නොහැකි බවයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ගෝඨාභය රටවටා ගෙනයාමට 'වියත්මඟ' විශ්‍රාමික හමුදා ජුන්ටාව යෝජනා කර ඇති සැලසුම් හා වැඩපිළිවෙල ඔවුන් විසින් විපක්ෂ නායකවරයාට පැහැදිලි කරද්දී විපක්ෂ නායකවරයා නිහඬවී ඇත.

අත්තනෝමතික රාජකාරි ඉතිහාසයක් !

ගෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය මිතුරන්ගේ සහයෙන් 'පොහොට්ටු පක්ෂයේ' බලය අත්පත් කර ගත් ආකාරය බොහෝ මාධ්‍යවල සංවාදයට ලක්ව ඇත්තේ, ඔහුගේ අතීත භාවිතාවද සැලකිල්ලට ගනිමිනි.

ඒ සම්බන්ධයෙන් 'රාවය' පුවත්පතට එහි ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ලිය ඇති විග්‍රහයක මෙසේ සඳහන්වේ.

'ගෝඨාභය වර්තමාන වීරත්වයට වඩා ප්‍රකට කරන්නේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ යටගිය වීරත්වයයි. ඔහු කොළඹ ලස්සන කළ නායකයා ලෙසට වර නැගුණත්, කොළඹ කුණු මීතොටමුල්ලේ ගොඩ ගසා කඳු පාමුලේ ජනයාගේ මාරයා බවට පත්වූ පුද්ගලයාද වූයේය. කුණුවලට විසඳුමක් ලබා දුන්නා නම් ඔහුට වීරයෙක් වන්නට තිබුණි.

ඔහු පරිත්‍යාග කළේ ජනයාටද තම දෙමාපියන්ගේ ස්මාරක ඉදිකිරිමටද යන ප්‍රශ්නය ඔහුට එරෙහිව බරපතළ චෝදනාවක් ලෙස නැගේ.

ලංකාව හදන්නට තද නායකයෙක් හෙවත් හිට්ලර් වැනි නායකයෙක් ඕනෑ වැනි ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ හා අන්තේවාසිකයන්ගේ වාචාල කතාවලින් එහාට ගිය වීරත්වයක් ගෝඨාභය ගොඩ නගාගෙන තිබේද? නැත.

ඔහුට සිතූ දේ කළ හැකිව තිබුණු අත්තනෝමතික රාජකාරි ඉතිහාසයක් තිබුණි. සිතු දේ කළ හැකි වූයේ දේශපාලන බලය නිසාය. දේශපාලන බලය නැතිවිට ගෝඨාභය යනු අතිශය සාමාන්‍ය පුද්ගලයෙකි.

දේශපාලන පරිචයක් නැති පුද්ගලයෙක් !

ඔහු 2015 ජනවාරි 08 වැනිදායින් පසු කළ දෙයක් නැත. තම අන්තේවාසිකයන් සමග සම්මන්ත්‍රණ පැවැත්වීම කළත් ඒවායින් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට එරෙහිව ඇතැයි සැලකෙන බාධක ඉවත් කිරීම හැර අන් යමක් සිදුවූයේ නැත.

වත්මන් රජයේ දුර්වල හා අගතිගාමී ක්‍රියාකාරීත්වයට එරෙහිව ඔහුට මහජනයා සංවිධානය කළ නොහැකි විය. ඔහු එවැනි උත්සාහයක නිරත වූයේද නැත. එසේ කළ හැකිව තිබුණි නම් ඔහුට සාමාන්‍ය ජනයා අතර අවම කොන්දේසි යටතේ වුව මහජන අරගල කරන්නකු ලෙස වීරත්වයක් දිනාගන්නට තිබුණි.

මහ බැංකු කොල්ලය ප්‍රමුඛ යහපාලන රජයේ මූල්‍ය අවභාවිතයන් කෙරෙහි සම්මන්ත්‍රණයකදී සඳහන් කරනවා හැර ගෝඨාභය මේ කිසිවක් ගැන මහජන විරෝධතා ක්‍රියාවලියකට අවතීර්ණ නොවූයේ ඔහු සකසා දෙන පිටියක ක්‍රීඩා කරන්නකු හැර පිටිය සකස් කරගෙන ක්‍රීඩා කරන්නට තරම් දේශපාලන පරිචයක් නැති පුද්ගලයකු වන නිසාය.

ඉන් පෙනී යන්නේ ඔහු දේශපාලනඥයකු නොව උස්සා ගොස් පුටුවෙහි තැබූ විට පරිපාලනය විතරක් කළ හැකි පරිපාලන නිලධාරියකු බවය. මග අරගල කරන දේශපාලකයන් කර තිබෙන්නේ මොනවාද යනුවෙන් කෙනකු ප්‍රශ්නයක් මතු කළ හැකිය. ඊට දිය යුතු පිළිතුර ව්‍යාජ උද්ඝෝෂකයන් නොවී දේශපාලකයන් වෘත්තීය දේශපාලනයක ව්‍යාවෘත විය යුතුය යන්නය.

ව්‍යාජ වීරත්වය හා ව්‍යාජ පරිත්‍යාගය ජනතාව හඳුනා ගැනීම වැදගත්ය. සැමදාම සුබ සාධනය අපේක්ෂා කිරීම හිඟන සමාජයකට හා හිඟන ව්‍රතයකට පාර කපයි. තද නායකයකු අපේක්ෂා කරන්නන් බලහත්කාරී පාලනයකට හා කේන්ද්‍රගත කල්ලිවාදී ජුන්ටාවකට පාර කපයි.

මේ දෙකෙන්ම විතැන්ව ජනතාව අලුත් පාරක් කපාගත යුතුව ඇත. එහි පළමු උදලු පහර 2019 ජනාධිපතිවරණයේදී ගැසිය හැකිය. ඒ සඳහා පසුගාමීත්වය ප්‍රතික්ෂේප කරන අතරම අවබෝධය වැලඳ ගැනීම වැදගත්ය.''