Language Switcher

V2025

ඇලෝසියස්ගෙන් 'අලාභය' අයකර ගැනීමට අලුතින් නීති රීති !

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුකුලව රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාවට අදාළව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවති රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය .

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසන් සභා පනත 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අතර ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

අවුරුදු 23 කට දුෂණ පනතෙන් 'දඬුවම් කළේ හතර දෙනාටයි'

1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභා පනත සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, එම කොමිසම මගින් නඩු පවරනු ලැබ දඬුවම් දී තිබෙන්නේ සිව් දෙනෙකුට පමණක් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එහිදී හෙළිකර සිටියේය.

පිටු අඩුවෙලා ද ?

 මහබැංකු බැදුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබ`දව ද කරුණු ඉදිරිපත් කරමින් නිලධාරින් පෙන්වා දුන්නේ එහි පිටු අඩුවීමක් සිදුව නොමැති බවයි.

ඊට අදාළව අනු ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒ අතර අදාළ නඩු කටයුතු ක්‍රියාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවත් එම නිලධාරීන් පැහැදිලිකර සිටියේය.

 මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක් :

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම, රජයට සිදුවූ අලාභය නැවත අයකර ගැනීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම පිළිබදව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශ ප්‍රධානින් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරනු ලබන බව ද මෙහිදී සදහන් කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැස්වීමට එක්ව සිටියහ.