පවතින දේශපාලනය තරුණ්‍යයට තිත්තයි : අගමැති ප්‍රසිද්ධියේ පිළිගනියි !

පවතින දේශපාලනය තරුණ්‍යයට තිත්තයි : අගමැති ප්‍රසිද්ධියේ පිළිගනියි !

මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවත්, එම වෙනස රටේ තරුණ තරුණියන් සමග එක්ව ඔවුන්ගේ අදහස්වලට මුල්තැනදී සිදු කළ යුතු බව පවසයි.

2015 බලයට පැමිණි ආණ්ඩුව විවිධ අභියෝග මධ්‍යයයේ ඉදිරියට පැමිණ සංහිදියාව, නිදහස ස්ථාපිත කළ බවත් දැන් කළ යුතුව තිබෙන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කර තරුණ පරපුරේ විශ්වාසය යළි ගොඩනඟමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

ලෝක තරුණ දිනය සැමරීමට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වෙච්ඡා සේවය සඳහා අන්තර් ජාලය ඔස්සේ එක්වීමට තරුණ සේවා සභාවේ වෙබ් අඩවියේ වෙබ් පිටුවක් විවෘත කිරීම ද සිදු කෙරිණි.

එම උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

තරුණ ඔබට අවශ්‍ය රට බිහිකරදීම අපේ වගකීම වී තිබෙනවා. අප දැන් ඇසිය යුත්තේ ඔබට අවශ්‍ය රට කෙසේ ගොඩනඟනවා ද, කවුරුන් එය සිදු කරයි ද, යන්නයි. මුහුණු මාරු කිරීමෙන් එය සිදු කරනවා ද, පාර්ලිමේන්තුවේ 225 ඉවත් කර වෙනත් පිරිසක් ගෙන එනවා ද, නැතිනම් ක්‍රමවේදය වෙනස් කර ඉදිරියට ගමන් කරනවා දැයි ඔබෙන් අහන්න කැමැතියි.

මේ ක්‍රමය පිළිබඳව මමත් හොඳට කල්පනා කළා. ඇයි අපට වේගයෙන් ගමන් කරන්න බැරි. මගේ කුඩා කාලයේ අපට ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් වුවත්, දැන් අපට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. අපට දියුණු වීමට නොහැකි වූයේ දේශපාලන ක්‍රමය නිසා බව අප සියලූ දෙනාම පිළිගත යුතුයි.

මුහුණු මාරු කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි මේ ක්‍රමය වෙනස් නොකළ හොත් විසඳුමක් ලැබෙන්නේ නැති බව සඳහන් කරන්න කැමැතියි. රට දියුණු කිරීමට අවශ්‍ය ඒ වෙනස ඇති කිරීමට ඔබත් සමග කැපවීමෙන් කටයුතු කිරීමට මම සූදානම් බව මේ මොහොතේ කියන්න කැමැතියි.

ඔබේ අනාගතය වෙනුවෙන් රටේ ණය බර නව පරපුරට ඉතුරු නොකර අපේ ජීවිත කාලය තුළ ගෙවා දැමිය යුතු බව අප තීරණය කළා. තරුණ තරුණියන්ට අවශ්‍ය වෙනස කුමක්දැයි දැනගැනීමට යෞවන සමාජ සම්මේලනයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. ඔබේ අදහස් අනුව ඔබට අවශ්‍ය වෙනස පිළිඅරගෙන ඒ වෙනස ඇති කිරීම සඳහා කැපවීමෙන් අප සියලූදෙනාම සටන් කරමු යැයි ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට තරුණ සේවාවේ සභාපති එරංග වැලිඅංගේ, මහාචාර්ය සිරී හෙට්ටිගේ, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෙඣීවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥාන‍සෝති, ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු තරුණ තරුණයන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න