Language Switcher

V2025

ජනාධිපතිත් පුරවැසියෙක් : පාස්කු තේරීම් කාරක සභාවට යායුතුයි - හිටපු හමුදාපති

රටේ පුරවැසියකු ලෙස ජනාධිපතිවරයාද පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් විය යුතු බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

අද (26) ඔහු මේ බව සදහන් කර සිටියේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ මාධ්‍ය සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්ය.

තමන්ටද ඉදිරියේදී කැඳවීමක් ලැබුනොත් යුධ හමුදා නීති අංශයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඊට සහභාගිවන බවත් ඒ සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

වසර 38ක කීර්තිමත් හමුදා සේවයක් අවසානයේ විශ්‍රාම යන මේ මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙනවා වගේම තමන් කෙරෙහි සහ යුධ හමුදාව ගැන ජනතාව දැක්වූ කැමැත්ත ගැන මම ඔවුන්ට ස්තුතියි කරන බවත් හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

පසුගිය කාලය පුරා යුධ හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බව පැවසු හිටපු යුධ හමුදාපතිවරයා, මෙය සිංහල බෞද්ධ රටක් බවත් එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල බව කියා සිටියේය. මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවත් සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත් තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් සමගියෙන් හා සංහිදියාවෙන් යුතුව ඔවුන් රැක ගත යුතු බවත් සඳහන් කළේය.

විශ්‍රාම ගියත් රටට සේවය කිරීමට සූදානම් !

විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වන බවත් ඔහු පැවසීය.

ඒ ඒ සඳහා පක්ෂයකට එක්වනවාද යන්න ගැන විමසූ විට හිටපු යුධ හමුදාපතිවරයා කියා සිටියේ දේශපාලනයට එන්නේ නැතිව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තමන්ට වැඩ කිරීමට හැකි බවයි.

යුධ හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන තමන් ජනාධිපතිවරයාට ද දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සුදුසුකම සරත් ෆොන්සේකාට විතරයි !

ෆීල්ඩ් මාර්ෂල් තනතුර සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් හිටපු යුධ හමුදාපතිවරයා ගෙන් කරුණු විමසු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි තනතුරක් දැරීමට තමාට සුදුසුකමක් නොමැති බවයි.

යුද්ධයක් ඇති විටෙක සිටින හමුදාපතිවරයෙකුට එය පිරිනැමෙන බවත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එම තනතුර ලැබිය යුතු බව පැවසූ හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක, එදා සරත් ෆොන්සේකා යුධ හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇති බවත් අවධාරණය කළ අතර එමෙන්ම රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවද කියා සිටියේය.