Language Switcher

V2025

නන්දසේන කාදිනල් හමුවීමට සැලැස්මක් යොදයි : කොන්ත්‍රාත්තුව විශ්‍රාමික හමුදා ප්‍රධානීන්ට !

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකු තමන් හමුවීමට නොපැමිණෙන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මිට ඉහතදී ප්‍රකාශ කර තිබුන ද උන්වහන්සේ හා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඉක්මනින්ම සංවිධානය කර දේශපාලන වාසියක් ලබාගැනීමට 'වියත්මඟ' සංවිධානයේ විශ්‍රාමික හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකු මේ වනවිට කටයුතු කරමින් සිටියි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී ඊයේ (25) පැවති රෝගීන් ආශිර්වාද ගැන්වීමේ මංගල්‍යයට එක්වෙමින් කල ඉල්ලීමට වහා ප්‍රතිචාර දක්වමින්, එම ඉල්ලීම සිය රජයක් තුළ නොපමාව ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක නන්දසේන රාජපක්ෂ ඊයේ (25) මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම්දී සිටියේ, එවැනි හමුවකට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමේ 'වියත්මඟ' මෙහෙයුමේ පියවරක් ලෙසය.

පාස්කු ඉරිදා දිනයේ මියගිය පුද්ගලයන්ටත්, කටුනායක සිදුවීමේදී රෝෂේන් චානක ඝාතනයටත්, රතුපස්වල සිදුවීමේදීත් සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොකල යුක්තිය ඉටු නොකළ කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකු තමන් වහන්සේ හමුවීමට නොපැමිණෙන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිතුමන් පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරීම හා කටුවාපිටිය දේවස්ථානය පිළිසකර කිරීමෙන් අනතුරුව නැවත ආසිරි ගැන්වීම නිමිති කොටගෙන පැවති දිව්‍ය පූජාවේදී කළ ප්‍රකාශ සමාජයේ මහත් ආන්දෝලනයට ලක් විය.

විශේෂයෙන් ම සියළු දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයන් ඉලක්ක කොට සිදුකළ ප්‍රකාශය කතෝලික සභාව තුළ පමණක් නොව, බහුතරයක් වූ අනෙකුත් ජනතාවගේ ද පැසසුමට ලක්විය.

තමන් කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නැති බවත් තමත් සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ පක්‍ෂයේ බවත් එහිදී පැවසු උන්වහන්සේ, තමන් දේශපාලනයට සම්බන්ධ නොකර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

'ද ලීඩර්' වෙත වාර්තා වන පරිදි පසුගිය 11 වෙනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නන්දසේන රාජපක්ෂ ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව, ඔහුගේ පාර්ශවය විසින් දිගින් දිගටම අවස්ථා කිහිපයකදීම , අගරදගුරු හිමිපාණන්ව බැහැ දැකීමට උත්සාහ දරා ඇත.

එය අසාර්ථක වු තැන නන්දසේන රාජපක්ෂ විසින් කතෝලික ඡන්ද පදනම ඉලක්ක කොට, පාස්කු ප්‍රහාරයේ වාසිය තම දේශපාලන මඩිය තර කර ගැනීමේ අරමුණින් පසුගිය දා මහනුවර රදගුරු හිමිපාණන් ව සහ ගාල්ල අනුනායක හිමිපාණන් ව බැහැ දැකීමට කටයුතු කළේය.

නමුත් එම බැහැ දැකීම් කතෝලික ජනතාව අතර එතරම් කතාබහට හෝ අවධානයට ලක් නොවු හෙයින්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රසාදය දිනා, එතුමන්ගේ ආශීර්වාදය මේ මොහොතේ කෙසේ හෝ ලබා ගැනීමට නන්දසේන පාර්ශවය විසින් උපාය දූතයන් යෙදවීමට කටයුතු කර ඇත.

ඒ අනුව, කොළඹ අගරදගුරු මැදුරේම, කාදිනල් හිමිපාණන්ට ඉතා කුළුපග ව සේවය කරන පුද්ගලයෙකු රාජපක්ෂ වරුන්ගේ ඕනෑ එපාකම්, අගරදගුරු තුමා ලවා ඉටුකරවා ගැනීමේ කූඨ උපක්‍රමයක නිරත වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ. එහි එක් පියවරක් ලෙස නන්දසේන රාජපක්ෂ විසින් අගරදගුරුතුමන් වෙත නිකුත් කළ ලිපිය දැක්විය හැක.

සාකච්ඡාවකට ඉඩ ප්‍රස්තාව සලසා දීමට:

කාදිනල් හිමිපාණන් විසින් තමන්ට ඉතාම සමීප කිහිපදෙනෙකු සමග කෙරුණු කතාබහක දී පවසා ඇත්තේ - " ඔවුන් අපේ ඉල්ලීම ගැන (ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ගැන) ප්‍රකාශයක්, පැහැදිලි ස්ථාවරයවත් නිකුත් කරානම්, සාකච්ඡාවකට ඉඩ ප්‍රස්තාව සලසා දීමට හැකිවනු ඇති බවයි.

කාදිනල්තුමාගේ එම අදහස, රැස්ව සිටි සුළු පිරිසගෙන් එක් අයෙකු (උපාය දූතය) නන්දසේන පාර්ශවය වෙත දැනුම් දී ඇති බවත්, ඒ අනුව ක්‍රියාත්මක වූ නන්දසේන රාජපක්ෂ ඊට පසුදිනම (අගෝස්තු 25) ඉහත කී ලිපිය මගින්, තමන් බලයට පැමිණි පසු කාදිනල් හිමියන් කියන ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වීමට එකග වී ඇත.

ඒ අනුව, මෙම ලිපිය පදනම් කරගනිමින් කාදිනල් හිමිපාණන් සහ නන්දසේන රාජපක්ෂ මහතා අතර හමුවක් නුදුරේදීම පැවැත්වීමට ඉතා සූක්ෂම ලෙස සැලසුම් සැකසෙමින් තිබේ.