පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී තනතුරු කීපයකට අළුත් අය පත්කර ඇත.
ඒ අතරින් කැපී පෙනෙන්නේ ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී. දිසානයකටත්, මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරත් ඉවත් කර එම තනතුර සඳහා ලසන්ත අලගියවන්න හා වීරකුමාර දිසානායක පත් කිරීමය.
මේ ඉවත් කිරීම්වලට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා තිබුණේ එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත්ව කටයුතු කිරීමත් එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා නම් කිරීමේ අවස්ථාවට සහභාගී වීමත්ය.
පක්ෂයට විනයක් තිබීම අගය කළ යුතුය. එහෙත් එම විනය හැමදාම පවත්වා ගන්නක්ද විය යුතුය. එය හිතූ හිතූ වෙලාවට පාවිච්චි කරන්නක් බවට පත්විය යුතු නැත. විනය පියවර ගන්නවා නම් ශ්‍රීලනිපය මුලින්ම විනය පියවර ගතයුතුව තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂයට එරෙහිවය. ඔහු ශ්‍රීලනිප නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකුව සිටිමින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පතිවී සිටී. ඔහු මග යමින් ශ්‍රිලනිප යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ තවත් මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගොස් ඇත.
ඒ ගැන කට හොල්ලන්නට විනය ගැන කතාකරන ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් නැත. තීරණයක් ගන්නට හැකියාවක් නැත. එයම ඔහුගේ නායකත්වයේ පෞරුෂයේ සැබෑ ස්වරූපය අපට පසක්කරවයි. කුමන්ත්‍රණ, යටිකූට්ටු වැඩ මිස සෘජු වැඩ, තීන්දු තීරණ ජනාධිපතිට බැරි බවට මෙයම උදාහරණයකි.
(අනිද්දා)