Language Switcher

V2025

ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශක වෙන්න : පොහොට්ටුව ඇතුලේ මරා ගනියි !

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දැනට නම්කර ඇති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් පත්කිරීම සම්බන්ධව එම පාර්ශවයේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගේ සම මාධ්‍ය ප්‍රකාශකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම පත්කර ඇති අතර එය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් සිදුකර ඇත.

මෙම පත්කිරීම් සිදුකිරීමට පෙර නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ගේ ගෝලයකු වන මිලින්ද රාජපක්ෂ ය.

මිලින්ද රාජපක්ෂ ඉවත් කරාට දිලිත්ට යකා නැගලා !

මේ වන විට ඔහුව මුළුමනින්ම නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය කටයුතුවලින් ඉවත්කර තිබේ. ඒ සම්බන්ධව දැඩි විරෝධයක් කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර පොහොට්ටු පාර්ශවයේ කිහිපදෙනකු වෙත දක්වා ඇති බවත් වාර්තා වෙයි.

ඒ " අමාරුවෙන් උඩට ගෙනාපු අපිව කපන්නද එන්නේ " කියා අසමින්‍ ය. එහිදී එම පොහොට්ටු ප්‍රධානීන් දිලිත් ජයවීර ට පවසා ඇත්තේ සියළු තීන්දු ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ බැවින් ඒ සම්බන්ධව අදහස් දැක්වීමක් කිරීමට තමන්ට නොහැකි බවය.

එසේම තවදුරටත් මිලින්ද ප්‍රශ්නය කරේ තබාගෙන යාම දිලිත්ට නරකට හිටින්නත් පුළුවන් කියාද ඔවුන් අවවාද කර ඇති බවත් වාර්තා වෙයි.

එහිදී දිලිත් ජයවීර කියා ඇත්තේ "හරි මම ඒක ලොක්කා එක්කම බේරගන්නම්" කියාය.

විමල් - දිනේෂ් : ගෝඨාගේ ප්‍රකාශකයන් වීමේ අරමුණක !

මේ අතර නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක වීමට බලාපොරොත්තු ඇතිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පොහොට්ටු පාර්ශවයේ නායකත්වය විවේචනය කරන්නට ගෙන ඇති අතර ඒ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන දියත් කළ දරුණු මඩ මෙහෙයුමක් ද සහිතවය.

එහිදී විමල් වීරවංශ සිය මාධ්‍ය කටයුතු සිදුකරන පුද්ගලයන් අමතා අවධාරණය කර ඇත්තේ සල්ලාලයින්ට මාධ්‍ය ප්‍රකාශක තනතුර දීම හරහා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට ප්‍රචාරය කිරීමටය.

එසේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද මේ නව පත්කිරීමට විරුද්ධව සිටින බවත් වාර්තා වෙයි.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ යනු ජාතිකවාදී කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැවින් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමිවිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයේ නිරත ‍ජ්‍යේෂ්ඨයකුට බවය.

කෙහෙළිය රඹුක්වැල්ල එම කඳවුර නියෝජනය කරන්නෙකු හෝ එම දේශපාලනය හරිහැටි දන්නා පුද්ගලයකු හෝ නොවන බැවින් මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

ස්ත්‍රී ලෝලියෙකු වශයෙන් ප්‍රසිද්ධ කුප්‍රකට කෙහෙළියට මෙම තනතුර ලබාදීම ගෝඨාභය රාජපක්ෂ ගේ චරිතයටත් කැළලක් බවත් එය කඩිනමින් වෙනස් වියයුතු බවත් ඔවුන් දැඩිව කියා ඇති බවත් වාර්තා වෙයි.

වියත්මග සාමාජිකයකුට මාධ්‍ය ප්‍රකාශක ධූරය !

මේ අතර ගෝඨාගේ “වියත් මඟ” කණ්ඩායමේ අදහස වී ඇත්තේ ගෝඨාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුල පටන්ම වෙහෙසුණේ තමන් බැවින් තම කණ්ඩායමේ අයකුට මෙම තනතුර හිමිවිය යුතුය යන්නය.

විශේෂයෙන් යුද්ධය ජයග්‍රහණය කළ විරුවා වශයෙන් ගෝඨාභයගේ ප්‍රතිරූපය නැංවීම සඳහා හිටපු හමුදා ප්‍රධානියකු මෙම තනතුරට පත් කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

එසේම මේ සම්බන්ධව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමටත් රාජපක්ෂ පවුලේ අනෙක් සාමාජිකයන් වෙත නන්දසේන ගෝඨාභය ගේ ජනප්‍රියත්වය දරාගත නොහැකි වීම නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් ඔවුන්ගේ ස්ථාවරය බවත් දැනගන්නට ඇත.