Language Switcher

V2025

රුපවාහිනිය පවරා ගත් ජනාධිපති ITN එකත් පවරා ගනී ද ?

ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ විෂය පථයට එක්කර තිබෙන ස්වාධින රුපවාහිනී ආයතනය ද (ITN) ළඟදීම තමන් යටතට පවරා ගැනීමේ ඉඩක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීමට හේතු දක්වා ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවන තෙක් නිවේදනයක් නිකුත්ව නැතත් මේ සම්බන්ධයෙන් newstube.lk කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, රුපවාහිනියේ සභාපති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හේතුවෙන් ආයතනය තුල බරපතල අර්බුදයක් මතුවීමේ අවධානම සලකා ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගෙන ඇතැයි වාර්තාවන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබාගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද එය සාර්ථක නොවිය. කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් ඒකපාර්ශ්විකව කටයුතු කරන ITN නාලිකාව සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුන ජාතික රුපවාහිනිය සම්බන්ධයෙන් එවැනි දැනුම්දීමක් ඊයේ (09) දිනය වෙනතෙක් සිදු නොවූ බවයි.

ලේ වැගිරීමක් වැලැක්වීමට !

ජනාධිපතිවරයා ජාතික රූපවාහිනී සංස්ථාව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් විවිධ විද්‍යුත් නාලිකා, පුවත් පත් සහ සමාජ මාධ්‍ය තම තමන්ගේ දේශපාලන ස්ථාවරයන් අනුව වාර්තා පළකර ඇති අතර ජනාධිපතිවරයාට හිතවත් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ආයතනය තුල අරාජිකත්වයක් ඇතිවීම වැලැක්වීමට එවැනි පියවරක් ගත් බවයි.

ජනාධිපතිවරයා රූපවාහිනීය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගත් නිවැරැදි සහ හදිසි තීරණය නිසා විශාල ලේ වැගිරීමක් වැළකුණු බව ද එම සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද එම තනතුරට පත් කරන ලද්දේ මංගල සමරවීර අමාත්‍යවරයා මාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීය.  පසුගිය ඔක්තෝම්බර් 26 දා රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ අවස්ථාවේදී සරත් කෝන්ගහගේ සභාපති ලෙස නම් කරනු ලැබිය.

යලිත් රනිල් අගමැති ලෙස පතු අවස්ථාවේදී ඉනෝකා යලි සභාපති ලෙස නම් කල අතර පසුව පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී රුවන් විජේවර්ධන කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලද පසුවද ඇයව තවදුරටත් එම ධුරයේ රඳවා ගනු ලැබිය.

එසේ කිහිපවරක්ම සභාපති ධුරයට නම් කළ ඉනෝකාගේ පියා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකුව සිටියකු හා භාණ්ඩාගාරික වරයකු ලෙස කටයුතු කළ අයකු වන අතර 89-89 භීෂණ සමයේදී නාඳුනන ත්‍රස්තවාදී පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ජිවිතක්ෂයට පත්විය.

පසුගිය මැතිවරණ ගණනාවක දී එජාපයේ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධව සිටි ඉනෝකා, 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සිදුකළ ප්‍රචාරක දැන්වීමක් හේතුවෙන් සන්ධාන ක්‍රියාකාරීන්ගේ උදහසට ලක්ව පොලිසියට හා ළමා ආරක්ෂක අධිකාරිය හමුවට පවා කැඳවා රස්තියාදුවට ලක්කරනු ලැබුවෙකි.

පත්වීම් කිරීමට බලය ඇත්තේ කැබිනට් ඇමතිට !

රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කර නොමැති නමුත් ජනාධිපතිවරයාට හිතවත් සමාජ මාධ්‍ය ජනාධිපතිවරයාගේ තීරණය සාධාරණිකරණය කරමින් වාර්තා පළකර ඇත. එවැනි වාර්තාවල සාරාංශය පහත සඳහන් පරිදි ගොනුකළ හැක.

රූපවාහිනී සභාපති පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලතල ඇත්තේ මාධ්‍ය කැබිනට් අමාත්‍යවරයාට වන අතර, ඒ අනුව කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍ය තනතුර දරණ රුවන් විජේවර්ධනට සභාපති ඉවත් කිරීමට හෝ පත් කිරීමට බලය නැත. අනෙක් අතට කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍ය ධුරය රුවන් විජේවර්ධනට ලබා දීමේදී ඉනෝකා සත්‍යාංගනී දිගටම රූපවාහිනී සභාපති ලෙස තබා ගැනීමට තීරණය කරන තිබුණි.

එහෙත් මාස කිහිපයකට පසුව ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනී සභාපති තනතුරින් ඉවත් කිරීමට රුවන් විජේවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා කීප විටක්ම උත්සාහ දැරුවද, ඔහුට සභාපති ඉවත් කිරීමට බලය නොමැති බැවින්, ඉනෝකා සත්‍යාංගනී එම තනතුරින් ඉවත් නොවූවාය.

මෙවැනි පසුබිමකදී ITN නාලිකාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න රූපවාහිනී සභාපති ලෙස පත් කරමින් ලිපියක් නිකුත් කිරීමට රුවන් විජේවර්ධන කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍ය දින කීපයකට පෙර ක්‍රියා කළ අතර, එම ලිපියේ නීත්‍යානුකූල වලංගුභාවයක් නොමැති බැවින් කැලුම් පාලිත සභාපති ලෙස පිළිගැනීමට රූපවාහිනී සංස්ථා බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

මැර රංගනයක් පෙරට

ඒ අනුව සිය දේශපාලන බලපෑම දැඩි කරමින් රුවන් විජේවර්ධන කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දේශපාලන ගෝල පිරිස් ඊයේ (09) දින උදෑසන සිට හොදින් හෝ නරකින් හෝ ඉනෝකා සත්‍යාංගනී එළියට ඇද දමා, කැලුම් පාලිත මහිරත්න සභාපති පුටුවේ වාඩි කරවන්නට ජවනිකාවක් රග දැක්වීම ආරම්භ කළේය.

ඔවුන්ගේ මැර පිරිස් ද සමග ඊයේ (9) උදෑසන සිට රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වන්නට දැඩි උත්සායක් දරා ඇත. අපට දැනගැනීමට ඇති පරිදි ඇතිවෙමින් පවතින තත්ත්වය හමුවේ රූපවාහිනී සභාපතිනිය විසින් අවශ්‍ය වුවහොත් විශේෂ කාර්‍ය බලකායේ ආරක්ෂාව ද ඉල්ලා ඇත.

ලේ වැගිරීමක පෙර ලකුණු

මෙම උණුසුම් තත්ත්වයත්, ලේ වැගිරීමකට සහ රූපවාහිනී ආයතනය නීති විරෝධී ලෙස බලෙන් මැර පිරිස් යොදවා අත් පත් කර ගැනීමට යාමේ අත්‍යාසන්න තත්ත්වයක් ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇත.

එජාප බල අරගලය රුපවාහිනිය තුලට !

එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර, ඇතිවී ඇති මෙම බල අරගලයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට සිදුවීමට යන අගතිය සහ විනාශය පිළිබඳ වේලාසනින් තේරුම් ගත් ජනාධිපතිවරයා තත්ත්වය දිගින් දිගටම නරක අතට හැරෙමින් පවතින බැවින් වහාම එම ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව වෙන කළ හැකි කිසිවක් නොමැති තැන වහාම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන ලදී. එසේ පවරා ගැනීම නිසා සිදුවන්නට ගිය ලේ වැගිරීමක් වැළක්වුණා පමණක් නොව, ජාතික ආරක්ෂාව අතින් ඉතා සංවේදී වටිනාකමක් ඇති ජාතික රූපවාහිනී යේ ආරක්ෂාව ද සහතික විය.

පහත දැක්වෙන්නේ  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන වෙත සහය දක්වන පිරිසක් විසින්  සමාජ මාධ්‍ය ජාලයට එක් කරන ලද  පෝස්ටුවකි.

f5bd3b6b f2e9 4122 a18a eec2db6f87ef

9f72511f f501 496a 991e c3b6afa78429