නෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි 200ක් අවභාවිතා වී ඇතැයි ජනාධිපති සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කෝප් කමිටුව හමුවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගෙන්වා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය.
කෝප් කමිටුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කටයුතු පසුවට කල් තබා මෙම කරුණු ප්‍රමුඛ කටයුත්තයක් සේ සලකා කඩිනමින් විමර්ශනයට ගත යුතු බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පවසන ආකාරයට මුදල් අතුරුදහන්වීමක් සිදුව තිබෙනවානම් ඊට වගකිව යුතු සියලුදෙනාට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
රුපියල් 2,500 බැගින් අලුතින් පවුල් ලක්ෂ 08කට සමෘද්ධි සහනාධාරය ලබාදීමට වැයවන මුදලට සමාන මුදලක් වංචා කර තිබීම සුලුපටු කටයුත්තක් සේ නොසැලකිය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
පවුල් ලක්ෂ 08කට සමෘද්ධිය දෙන්න පුළුවන් විශාල මුදලක් 2012 ආරම්භ කරපු නෙලුම් කුලුනු ව්‍යාපෘතිය හරහා වංචා කර තිබේ නම් එය බරපතල මූල්‍ය අපරාධයක්. මේ රටේ නායකයා හා විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා හා නියෝජිතයෝ ඇතුලු ජාත්‍යන්තර තානාපතිවරුන් ඉදිරිපිටදී. මේක සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි. ජනාධිපතිවරයා අවුරුදු 04ක්ම හිටියා මේ ප්‍රකාශය කරන්න. එහෙම දෙයක් සිදුවී තිබෙනම් මීට කලින් මෙය ජනතාව හමුවේ කියා පරීක්ෂණයක් පවත්වන එතුමාට වගකීමක් තිබුණා.
ජනාධිපති සිරිසේන එහෙම අයව අගමැති කරලා ආණ්ඩුවක් හැදීමත් වැරදියි !
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. පසුගිය ආණ්ඩුවේ සිටි විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපතිවරයා මෙම වංචාව කලානම් ඒ ගැන පරීක්ෂණ පවත්වා දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය සිදුකිරිමේ වගකීම ජනාධිපතිවරයාට තිබෙනවා. නමුත් අද වෙනකම් ඒක නොකිරීම ගැන ජනාධිපතිවරයාට බරපතල විවේචනයක් තිබෙනවා. ප්‍රමාද වෙලා හරි හෙළිදරවු කරලා නවතින්න බැහැ. මේ හෙළිදරවුවට වගකිව යුතු පුද්ගලයන් එක්ක තමයි දින 52 ආණ්ඩුව හැදුවේ. රාජපක්ෂ පාලනය කෝටි 200ක වංචාවක් කර තිබේනම් මහින්ද රාජපක්ෂ තමන්ගේ ඔඩොක්කුවට අරන් අගමැතිකම ලබාදීමත් බරපතල වැරැද්දක්“

