Language Switcher

V2025

පෙබරවාරි 06 පාර්ලිමේන්තු විවාදයත් කඩාකප්පල් කිරීමේ සුදානමක්

 
එළඹෙන පෙබරවාරි 06 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපති කොමිෂන් වාර්තා 2 ක පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීමේ සුදානමක් ඇති බව දුෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කරයි.
 
උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියේ ඊයේ (01) පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින්ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියන් සඳහන් කර සිටියේ 6 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමේ විවාදය ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳ පිළිබඳ විවාදය පැවැත්වීමේ අපේක්ෂාව මෙම වාර්තා දෙකෙහි ඇතුළත් කාරනා පිළිබඳ ජනතාව වැඩිදුරටත් දැනුවත්වීම වුවත් එම අවස්ථාව වළක්වාලීම වෙනුවෙන් මෙම කඩාකප්පල්කාරී කටයුත්ත සිදුවීමට යන බවය.
 
අදාළ කොමිෂන් සභා වාර්තා දෙකෙහි සඳහන් දුෂණ සහ වංචා පිළිබඳ විවාද කිරීමට පැය 24ක කාලයක් වෙන් කළත් එම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ හමුවේ ලබාදුන් සීමිත කාලය තුළ පවා පැවැත්වීමට නියමිත විවාදය කඩාකප්පල්කාරී කිරීමේ සුදානම පාර්ලිමේන්තු විවාදය සිදුකළ බවට බොරු මවාපෑමක් සිදුකර ජනතාව රැවටීමේ සුදානමක් බවද උන්වහන්සේ පැවසීය.
 

 කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පෙබ. 6න් අවසන් නෑ

මේ අතර ඊයේ (01) නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය සඳහන් කර සිටියේ ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳ විවාදය පෙබරවාරි 06 වනදා පැවැත්වීමට දින නියම කරගෙන ඇත්තේ එම විවාදය මැතිවරණ ක්‍රියාවලියටද බාදාවක් නොවන පරිදි කටයුතු කල යුතුව තිබූ නිසා වුවත් එම විවාදය පෙබරවාරි 06 වනදා සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බවක්   ඉන් අදහස්  නොවන බවත්ය.

 විවාදයේ දිනය වෙන්කළේ  පක්ෂ නායකයින්ගේ පොදු එකඟතාවයෙන් 

එසේම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අදහස් පරිදි ඒ සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදාගැනීමේ හැකියාව පවතින බවත් “පෙබරවාරි 06"  විවාදය  සඳහා යොදාගැනීම පිළිබඳව තීරණය කරන  ලද්දේ  2018.01.30  දින  පැවැති පක්ෂ නායක රැස්වීමේ දී බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද මීට පෙර අග්‍රාමාත්‍යවරයා   විසින් යෝජනා කර තිබූ  දිනය මැතිවරණ ක්‍රියාවලිය සමඟ ප්‍රායෝගික අපහසු වන  බව  මැතිවරණ  කොමිසන් සභාව  විසින් පෙන්වා දීමේන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්  විසින් විකල්ප දිනයක්  ලෙස පෙබරවාරී 06 සලකා බැලිය හැකි බව පෙන්වා දුන් බවත්  ශ්‍රි ලංකා  නිදහස් පක්ෂ නියෝජිතයා ද ඊට එකඟතාවය පල කල අතර, ද්‍රවිඩ  ජාතික සන්ධානයේ  නියෝජිතයා ද   එදින  විවාදය සඳහා තම පක්ෂය   සූදනම් බව දැන්වූ බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුව පෙබරවාරි 06 පැවැත්වීමේ  බහුතර අදහස පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවත් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා  එකඟත්වය පල කිරීම මත ජනවාරී 06  දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස  ස්ථාවර  නියෝග අංක 14  යටතේ අග්‍රාමාත්‍යවරයා  වෙත  පැවරී  ඇති බලතල ප්‍රකාරව කථානායකවරයාගෙන් නිලවශයෙන් ලිඛිතව ඉල්ලා  සිටින  ලද බවත් එම නිවේදනයේ සඳහන්ය.