එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ලැබීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල දේශපාලන අර්බුදයක් වෙත ගමන් කර ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනූව මේ වන විට පක්ෂයේ බෙදීම දරුණුවී ඇති අතර පිරිසක් පොහොට්ටු පාර්ශවය සමගත් තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයටත් එක්වීමේ සූදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අතරින් නිමල් සිරිපාල ද සිල්වා සහ මොහාන් ලාල් ග්‍රේරු ඇතුළු පිරිසක් පොදුජන පෙරමුණ වෙත යාමට සූදානමක් පවතින බවත් මහින්ද සමරසිංහ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එක්වීමට නියමිත බවත් වාර්තා වෙයි.
එම පිරිස ඉදිරියේ දී එම පක්ෂ වල මැතිවරණ ප්‍රචාරක රැලි අවස්ථාවේ එක්වීමේ සූදානමක් සම්බන්ධව ද තොරතුරු ලැබෙමින් තිබේ.
සිරිසේනට එජාපයේ දොරටු වැසෙයි !
මේ අතර පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව එජාපය අභ්‍යන්තරයේ පැවති විවාදය පදනම් කරගෙන එය දෙකඩ කිරීමේ උත්සාහයක් ශ්‍රිලනිප ය විසින් දියත්කර තිබූ නමුත් පක්ෂ නායකයන්ගේ නිවැරැදි තීන්දුව සමග එය ව්‍යර්ථ කිරීමට හැකිවූ බව එජාප ජේෂ්ඨයකු නිව්ස් ටියුබ් වෙත පැවසීය.
ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනාධිපති සිරිසේන සිය පක්ෂය සමග බද්ධ වෛරයක් ඇතිකර ගෙන දිගින් දිගටම පක්ෂයේ අර්බුදය නිර්මාණය කිරීමට උත්සාහ කළ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජන්ද විමසීමක් පවා නොමැතිව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් ඔහු පවසයි.
එජාපය සතුවූ අග්‍රාමාත්‍ය ධූරය ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් ජනාධිපති සිරිසේන වෙත අද 2015 ජනවරමට පිටුපෑමේ ආනිසංස ගෙවීමට සිදුව ඇති බවත් බලය තිබියදී ජනාධිපති අපේක්ෂකත්වය හෝ නැතිවූ ජනාධිපති ලෙස සිරිසේන ඉතිහාසයට එක්වන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔහු පවසයි.
එසේම දේශපාලන පළිගැනීම් වලට ලක්වූ එජාප පාක්ෂිකයන් වෙත සහන සැලසීම පවා දිගින් දිගටම ව්‍යර්ථ කළ සිරිසේන ජනාධිපති සමග ජනාධිපතිවරණය තුළ කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ඔහු සදහන් කළේය.
එහෙත් රාජපක්ෂ රෙජීම පාලනයක් නැවත ඇතිවී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පවුල් පාලනයක් ඇතිවීම වලක්වාලමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ශක්තිමත් කිරීමට එන සියළු ශ්‍රිලනිප සාමාජිකයන් ඉමහත් ආදරයෙන් පිළිගැනීමට එජාපය ප්‍රමුඛ සන්ධානය සූදානම් බවත් ඔහු පැවසීය.
ශ්‍රිලනිප පිරිසක් පොහොට්ටුවට : සිරිසේනත් හිත හදාගෙන !
මේ අතර අද (26) බදුල්ලේ පැවති බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයක් අමතමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැක ගනිමින් පොහොට්ටුව සමඟ එකතුවීමට සූදානම් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
“අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවන්නේ පස්සේ දොරෙන් ගිහිල්ලා නෙවෙයි. අපිදැන් ගිවිසුම් හදනවා අපි ලස්සනට එකතුවෙනවා.පෙහොට්ටුව කියන්නේ පක්ෂයක් ඒක අපිට කමක්නැ හැ .
අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පක්ෂයේ ඉදගෙනම සහයෝගය දෙනවා.”මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ශ්‍රිලනිප ය නියෝජනය කරන ජනාධිපති සිරිසේන පාර්ශවය ගෙන ඇති අදහස මේ ආකාරයට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අනාවරණය කල බවක් පෙන්නුම් කරන බවයි.
එහෙත් රාජපක්ෂ රෙජීම පාලනය පෙරළීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සිරිසේනට අග්‍රාමාත්‍ය ධූරය දීමට පොහොට්ටු පාර්ශවය ඉඩක් නොදෙන අතර අවම වශයෙන් ඔහුට කතානායක ධූරය හෝ නොලැබෙන තත්ත්වයක් පෙන්නුම් කරන බවත් විචාරක මතය වී තිබේ.
ජනාධිපති කාර්‍ය මණ්ඩල පවා සජිත්ට එක්වෙන ලකුණු !
තවද එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත ලැබීමත් සමග ජනාධිපති සිරිසේනගේ ජේෂ්ඨ උපදේශකයකු සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන නීතිඥ ශිරාල් ලක්තිලක සිය ෆේස් බුක් ගිනුමේ මෙම සටහන තබා තිබුණි."දශකයක අරගලය මස්තකප්‍රාප්තියට පත්වී ඇති බව සැලවෙති.
වසර 2050ට අවැසි සංවර්ධන ආයෝජනය 2020 සිට 2030 දක්වා සිදු කිරීම සඳහා වන අරගලය මෙතැන් සිට අරඹමු.
මෙය අපේ පරම්පරාවේ අරගලයයි!!!!!!!"
ඊට යොමුකළ ප්‍රශ්නයකදී ප්‍රතිචාර දක්වමින් නීතිඥ ශිරාල් ලක්තිලක සදහන් කර තිබුණේ තමන් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බවය.