රාජපක්ෂ පාලනයේ වසර 6ක් අමාත්‍ය ධුරයක් හොබවමින් රුපියල් කෝටි හත හමාරකට අධික අයතා වත්කම් උපයා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි අල්ලස් දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස 27 වැනිදා දක්වා නැවත කල් තබා තිබේ.
සිද්ධියට අදාල නඩුව අද(02) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබූ අතර විත්තිකාර විමල් වීරවංශ රෝගාතුරව ඇති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පවසා තිබේ.
2009 ජනවාරී මස 01 සිට 2014 දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම්වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස්වලින් බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අධිචෝදනා ගොනුකර ඇත.
මෙම සිද්ධියට අදාලව පැවති පසුගිය නඩු විභාගයේදී විමල් වීරවංස මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ට, එම නඩුවේ සාක්ෂි ලෙස නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක යන්ත්‍ර පරීක්ෂා කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය.

